අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය ළඟදීම අවසන්

    ජූනි 05, 2014

    වවුනියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට පුනරුත්ථාපනය වෙමින් සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් එකසිය තිස්දෙදෙනාගේ (132) පුනරුත්ථාපන ක්‍රියාවලිය ළඟදීම අවසන් වීමට නියමිත බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජගත් විජේතිලක මහතා සඳහන් කරයි.


    2009 යුද්ධය අවසන් වීමත් සමග භාර වූ හෝ අත්අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ගේ සංඛ්‍යාව 12,000ක් පමණ වූ අතර ඉන් දැනට පුනරුත්ථාපනය වෙමින් සිටින්නේ මෙම 132 දෙනා පමණකි. ඔවුහු ශ‍්‍රී ලංකා යුධ හමුදාව හා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරනු ලබන එක් අවුරුදු පාඨමාලාව හදාරති.


    ජාත්‍යන්තර රතුකුරුස කමිටු නියෝජිතයන් මෙන්ම පවුල්වල සාමාජිකයන් ද මෙම හිටපු සටන්කරුවන් හමුවීමට නිතර පැමිණෙන බව මේජර් ජනරාල් විජේතිලක මහතා සඳහන් කරයි. “සෑම තුන් මසකට වරක් අපි එක් කණ්ඩායමක් සමාජගත කරනවා. ඊළඟ කණ්ඩායම ජුනි මාසයේ දී මුදා හැරෙනවා“ යයි ඔහු වැඩිදුරටත් පැවසීය.


    පුනරුත්ථාපනය වී සමාජගත වූවන්ගෙන් 230කට වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලබා ඇති අතර, 35 දෙනෙක් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරති.


    මේජර් ජනරාල් විජේතිලක සඳහන් කරන පරිදි මේ දක්වා පුනරුත්ථාපනය කර සමාජගත වූවන්ගේ ප‍්‍රගතිය හා සුබසිද්ධිය උතුරු හා නැගෙනහිර පළාත්වල සියලුම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයන්හි පිහිටුවා ඇති පුනරුත්ථාපිත ප‍්‍රතිලාභීන් වෙනුවෙන් වූ සමාජ ආර්ථික සුබසාධන සම්බන්ධීකරණ කාර්යාලය විසින් නිරන්තරව අධීක්‍ෂණය කරනු ලබයි. මෙම කාර්යාලයේ මූලික වගකීම වන්නේ අදාළ දිස්ත‍්‍රික්කයන්හි සියලුම රජයේ හා සංස්ථාපිත ආයතන, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ප‍්‍රජාව සම්බන්ධීකරණය කරමින් පුනරුත්ථාපිත හිටපු සටන්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාර්ථක හා තිරසාර සමාජ-ආර්ථික ඒකාබද්ධතාවක් සහතික කිරීමයි.


    රජයේ අනුග‍්‍රහයෙන් ලබා දෙන පුනරුත්ථාපන වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සියලුම හිටපු සටන්කරුවන් ජීවනෝපාය මාර්ගයක් ආරම්භ කිරීමට ඉතා අඩු පොලියක් යටතේ රු. 250,000ක උපරිම ණයක් සඳහා සුදුසුකම් ලබති. පුනරුත්ථාපනය වූ හිටපු සටන්කරුවන් 1,773 දෙනෙක් මේ වන විට මෙම ණය මුදල ලබා ගෙන ඇති අතර, තවත් අයදුම්පත් ගණනාවක් පිළිබඳව ඇගයීම් කෙරෙමින් පවතින බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ණය පහසුකමට අමතරව කාර්යාංශය විසින් පුනරුත්ථාපිත පුද්ගලයන්ට විදේශ රැකියා අවස්ථා ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද ගවේශණය කරනු ලැබේ.


    “වෘත්තීය පුහුණුව ලත් පුනරුත්ථාපනය වූවන් 40 දෙනෙක් සේවයට බඳවා ගැනීම සඳහා සිංගප්පූරුවේ ඉදිකිරීම් සමාගමක් සිය කැමැත්ත පළ කර තිබෙනවා“ යයි කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    පුනරුත්ථාපන කාල සීමාවට අයත් වන වෘත්තීය පුහුණු පාඨමාලා අතරට කාර්මික නිපුණතා, තොරතුරු තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය, සත්ත්වපාලනය, රූපලාවන්‍ය, ආහාර සැකසුම්, අධ්‍යාපනය, අත්කම්, වඩු කර්මාන්තය හා ඉදිකිරීම් ඇතුළත් වේ. බොහෝ පිරිසක් මේ වන විට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයන්හි සේවය කරති.


    මනෝ සහයෝගය, ක‍්‍රීඩා, ආධ්‍යාත්මික, ආගමික හා සංස්කෘතිය බලගැන්වීම ද පුනරුත්ථාපන ක‍්‍රියාවලියට අන්තර්ගත ය.


    2009 මැයි යුද්ධය අවසන් වීමෙන් පසු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් රජය රු. බිලියන 2.5ක් වැය කොට ඇත. 2013 දී රජය විසින් මෙම වැඩසටහන් සඳහා වෙන් කළ මුදල රු. මිලියන 300 සිට රු. මිලියන 500 දක්වා වැඩි කරන ලදී.


    උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ පරිදි රඳවා ගෙන සිටින එල්ටීටීඊ සැකකරුවන් සම්බන්ධ පැමිණිලි අධ්‍යයනය කිරීම හා අවශ්‍ය අවස්ථාවන්හි නීති ක‍්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇත.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya