අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත පදිංචි කළ පවුල් 2200ක් සඳහා නව සනීපාරක්ෂක පහසුකම්

    ජූනි 05, 2014

    උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්කවල නැවත පදිංචි කළ පවුල් වෙනුවෙන් නව වැසිකිළි 2200ක් ඉදිකිරීම් ව්‍යාපෘතියක් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මඟින් දැන් ආරම්භ කර ඇති බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා පවසයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1400 ක් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය වෙන් කර ඇති අතර එක් වැසිකිළි පද්ධතියක් සඳහා රු.50,000ක අවම පිරිවැයක් දරනු ලැබේ. ඒ තුළින් විශේෂයෙන්ම අඩු ආදායම් ලබන නැවත පදිංචි කරනු ලැබූ පවුල් 2200 කට ප‍්‍රතිලාභ සැලසෙනු ඇත.

     

    ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිලාභීන් තෝරාගැනීමේ දී විශාල වශයෙන් පුද්ගලයන් අවතැන් වූ මුලතිව්, කිලිනොච්චි සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්කවල නැවත පදිංචි කළ පවුල් වෙත ප‍්‍රමුඛතාව ලබා දෙනු ලැබේ. එසේම මෙම දිස්ත‍්‍රික්ක 3 හි වැසිකිළි පහසුකම් ද සංඛ්‍යාත්මක වශයෙන් අනෙකුත් දිස්ත‍්‍රික්ක හා සංසන්දනාත්මකව බැලීමේ දී පහළ මට්ටමක පවතී.

     

    උතුරු හා නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර වශයෙන් අවතැන් ව නැවත පදිංචි කළ පවුල්වල සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳව අධ්‍යයනයක් මෑතක දී නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් කරනු ලැබූ අතර එතුළින් එම පළාත් දෙකෙහි නැවත පදිංචි කළ පවුල් 49,509 ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් නොමැති බව අනාවරණය විය.

     

    මේ වන විට උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි නැවත පදිංචි කළ සමස්ත පවුල් සංඛ්‍යාව 226,239 වන අතර ඒ අනුව මේ වන විට විශාල පවුල් සංඛ්‍යාවක් සඳහා එම පහසුකම් සැලසී ඇත. ප‍්‍රමුඛතා පදනමින් සනීපාරක්ෂක පහසුකම් නොමැති ඉතිරි පවුල් සඳහා ද අවම වශයෙන් වසර 2ක් ඇතුළත සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් දැන් ක‍්‍රියාත්මක කරනු ලැබේ.

     

    නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් 2013 වර්ෂයේ දී මෙවැනිම ව්‍යාපෘතියක් උතුරු නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 1673 ක් ඉදිකරනු ලැබූ බව ජනක සුගතදාස මහතා වැඩිදුරටත් පැවසීය.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya