අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුදහම සුරැකීමේ වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරනවා Featured

    ජූනි 03, 2014

    බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    ශ්‍රී ලංකාවේ ජාතීන් පහක ආගම් හතරක් අදහන ජන පිරිස බොහෝ කාලයක සිට සුහදව  ජීවත් වන අතර, ලොව කිසිදු රටක මෙවැනි  සහජීවනයක් දක්නට නොලැබෙන බවත් බොහෝ රටවල් ආගම් ජාති හා භාෂා වශයෙන්  අර්බුදයන්ට ලක්ව පවතින බවත් අග්‍රාමාත්‍යතුමා කීවේය.


    එවැනි තත්ත්වයක් යටත් ශ්‍රී ලංකාවේ සියලු දෙනා සාමයෙන් යුතුව ජීවත් වන බවත් ඒ තත්ත්වය තව දුරටත් ආරක්ෂා කිරීම සඳහා අප රජය නිරතුරුවම ඉදිරිපත් වන බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
     

    අරංතලා මහා භික්ෂු සංහාරයට වසර 27ක් පිරීම නිමිත්තෙන් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (02) පැවැති අනුස්මරණ උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මේ බව කියා සිටියේය.


    කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වර්ෂ 1987 ජූනි 02 වැනි දින උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හෑගොඩ ඉන්දසාර හිමිපාණන් වහන්සේ ප්‍රධාන තිස්එක්නමක් අපවත් වූ අතර, ඒ කුරිරු සංහාරය අනුස්මරණය කරමින් මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මෙම උත්සවය පැවැත්විණි.


    අරන්තලා භික්ෂු ස්මාරකය අභියස පැවති ආගමිකවතාවත්වලින් අනතුරුව උත්සව සභාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මෙසේ සඳහන් කළේය.


    එල්.ටී.ටී.ඊ. වැනි කුරිරු ත්‍රස්තවාදය අප කිසිසේත්ම අනුමත නොකරන අතර, එවැනි අදුරු යුගයන් අප කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ. එදා යුද්ධය නිසා මහා සංඝරත්නය මෙන්ම නිරායුධ වැසියන් විශාල ප්‍රමාණයකගේ දිවි අහිමිවුණා.  ඔවුන් සිහිපත් කරමින් මෙවැනි පුණ්‍ය ක්‍රියා සිදු කොට යළිත් එවැනි අමිහිරි කටුක අත්දැකීම් යළි විදීමට නොවේවායි අප ප්‍රාර්ථනා කළ යුතුයි.

    අරන්තලාව මහා සංඝරත්නය මෙන්ම මෙරට මහා සංඝරත්නය අතීතයේදීත් මේ අයුරින් ජීවිත පරිත්‍යාග කරමින් රට ආරක්ෂා කිරීමට කටයුතු කළා. ඒ නිසයි බුදුන් වහන්සේ උපත ලැබූ භාරත දේශයේ පවා බුදුදහම නොමැතිව පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවේ බුදුදහම ආරක්ෂා වී පවතින්නේ. එදා අපේ මහා සංඝරත්නය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදින්ට පවා එරෙහිව පෙරමුණ ගත් නිසයි මෙරට බුද්ධාගම මේ දක්වා ආරක්ෂා වී තිබෙන්නේ. එසේ නොමැති වූවා නම් අද වන විට ශ්‍රී ලංකාවේ සිංහල ජාතියේ පැවැත්මක්වත් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම රට පරිහානියට ලක්වීමට ඉඩ තිබුණා. නමුත් රටට එල්ල වන උවදුරු හමුවේ මහා සංඝරත්නය ඉදිරිපත් වූ නිසයි රට ඒකීය ශ්‍රී ලංකාවක් වශයෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබුණේ.
     

    බෞද්ධයන් වශයෙන් අප නිරතුරුවම බෞද්ධ දර්ශනය, චින්තනය, හැඟීම් වැඩිදියුණු කර ගනිමින් ශාසනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සැබෑ බෞද්ධයෙක් වශයෙන් බුදු දහමේ උන්තිය උදෙසා ක්‍රියා කරනවා. බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය අනුගමනය කරන කිසිවෙකුටත් වරදින්නේ නැහැ.

     

    විද්‍යාව තුළින් විනය ඇති වන බව බෞද්ධ දර්ශනයේ සඳහන් වන අතර අද බොහෝ දෙනෙක් විද්‍යා හා තාක්ෂණික දියුණුව මගින් විනය වෙනුවට අන් අයට හිරිහැර වන අයුරින් ජීවත් වන බව දක්නට ලැබෙනවා. විද්‍යාවේ දියුණුව අප ජීවිතය පහසු කර ගැනීමට උපයෝගී කර ගත යුතු වුවත් එය අන් අයට හිරිහැරයක් වන අයුරින් භාවිත කළ යුතු වන්නේ නැහැ. අන් අයට හා ලෝකයට බරක් වී ජීවත් වනවාට වඩා සෙසු අයට උපකාර කරමින් සහජීවනයෙන් යුතුව ජීවත්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද අම්පාර දිගාමඬුළු ආසන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු මහජන නියෝජිතයන් විශාල ගිහිපිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya