මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි ප්‍රමිතියට ඉදිකිරීම් සිදු නොකළහොත් එය අහිතකර ලෙස බලපානවා

    ජූනි 03, 2014

    නිසි ප්‍රමිතියට ඉදිකිරීම් සිදු නොකළහොත් තමන්ට පමණක් නො ව අවට ප්‍රදේශවාසීන්ට ද එය අහිතකර ලෙස බලපාන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

     

    අධික වර්ෂාව හේතුවෙන් අඩි 30ක් පමණ උසැති අවිධිමත් තාප්පයක් කඩා වැටීමෙන් විනාශයට පත්වූ තලංගම, උතුර, ධර්මාශෝක මාවතේ පිහිටි එම නිවස අලුත්වැඩියා කිරීමේදී අවශ්‍ය අනුග්‍රහය දැක්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විනාශයට පත් වූ නිවස අද (02) නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

     

    "පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතුවලට අනුවත්, බැලූ බැල්මටත් අපිට පේනවා ඉහළ පිහිටි නිවසේ මෙම පස් කණ්ඩිය ආවරණය කිරීමට සිදුකරපු ඉදිකිරීම ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් නිසා අවාසනාවන්ත ලෙස මෙම ජීවිත දෙක අහිමි වී තිබෙන බව. තමන්ගේ ඉඩම ගැන පමණක් හිතන්නේ නැතිව අනුන්ගේ ඉඩම්වලට එය බලපාන විදිහ ගැනත් හිතුවා නම් මේ කනගාටුදායක සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. මේ පිළිබඳව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි පොලිසියට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මේ විනාශයට පත් වූ නිවස අලුත්වැඩියා කටයුතු සිදුකරන විට ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. රජය හැටියට අපි ඉතාම සංවේගයට පත්වෙනවා මේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව" යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

     

    අධික වර්ෂාව හේතුවෙන් අඩි 30ක් පමණ උසැති අවිධිමත් ලෙස ඉදිකළ තාප්පයක් කඩා වැටීමෙන් මෙලෙස විනාශයට පත්වූයේ අංක 1080 / 1/ ඩී, ධර්මාශෝක මාවත, තලංගම උතුර යන ලිපිනයේ පිහිටි ප්‍රේමසිරි නවරත්න මහතාගේ නිවසය.

     

    අද (02) අලුයම 3.00ට පමණ සිදු වූ මෙම අනතුරෙන් එම නිවසේ පදිංචි අවුරුදු 72ක් වයසැති ප්‍රේමසිරි නවරත්න මහතා හා ඒ මහතාගේ බිරිඳ වන අවුරුදු 63ක් වයසැති ප්‍රේමසිලි මහත්මිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූහ.

     

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රේමසිරි නවරත්න මහතා සහ ඔහුගේ බිරිඳට අමතරව පුතා, ලේලිය හා මුණුපුරාද මෙම නිවසේ සිට ඇති අතර සිද්ධියෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැත. ව්‍යාපාරිකයෙක් වූ ප්‍රේමසිරි නවරත්න මහතාගේ හා එම මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට තලංගම පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි.

     

    මෙම අනතුර සිදුවූ ස්ථානයට මාලබේ පොතුඅරාව සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය මුලටිහේන සිරිධම්මසේන හිමියෝ ද කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහත්වරු හා ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණ සිටියහ.

     

    san1

     

    san2

     

    san3

     

    san5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya