අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250ක් ඉදිකරන වැඩපිළිවෙළ හෙට ඇරඹෙයි Featured

    ජූනි 01, 2014

    මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250ක් ඉදිකරන වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී පැවැත්වේ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.


    අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව හදාරණ සිසුන්ට ඉංජිනේරු හා ‍ජෛව පද්ධති තාක්ෂණයට අවශ්‍ය පහසුකම් සැලසීම මේ විද්‍යා පීඨ ආරම්භ කිරීමේ අරමුණ බවත් මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 65ක් බවත් දහසක් පාසල් සංවර්ධන වැඩසටහන භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එල්.එම්. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    සමාරම්භක උත්සවයට සමගාමීව මෙදින ම දිවයින පුරා තෝරාගත් පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ ඉදිකිරීම සඳහා මුල්ගල් තබනු ඇත. බස්නාහිර පළාතේ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේත් මධ්‍යම පළාතේ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීමට මුල්ගල් තබයි.


    දකුණු පළාතේ බටපොළ මධ්‍ය මහා විද්‍යාලයේ, මලිදූව මහා විද්‍යාලයේ හා ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ සඳහා මුල්ගල් තැබේ.


    මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ සඳහා මුල්ගල් තබන දිවයිනේ අනෙකුත් පාසල් වන්නේ උතුරු පළාතේ වේලානායික් මධ්‍ය මහා විද්‍යාලය, වයඹ පළාතේ පඬුවස්නුවර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය හා අවුලේගම සංඝබෝධි විද්‍යාලය, උතුරු මැද පළාතේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, සබරගමු පළාතේ කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලය හා ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය, නැගෙනහිර පළාතේ මූතූර් මහා විද්‍යාලය හා පොල්වත්ත මහා විද්‍යාලය, ඌව පළාතේ බදුල්ල ධර්මපාල මහා විද්‍යාලයයි.


    මාස 06ක් ඇතුළත මේ විද්‍යා පීඨ ඉදිකර සිසු අයිතියට පැවරීමට සැලසුම් කර ඇතැයි ද මහින්ද චින්තන ඉදිරි දැක්ම පුනර්ජීවන වැඩසටහනට අනුව මෙරට අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනාත්මක හැරවුමක් නිර්මාණය කිරීමේ එක් පියවරක් ලෙස දිවයින පුරා පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250ක් ඉදිකිරීමට නියමිත බවත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya