අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය සුරැකීමට තිරසර බලශක්ති පරිභෝජන ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි Featured

    මැයි 29, 2014
    පරිසරය ආරක්ෂා කිරීමට සමගාමීව තිරසාරාත්මක බලශක්ති පරිභෝජන ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය අඟහරුවාදා කොළඹ - ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවති දකුණු ආසියානු  ඕසෝන් නිලධාරීන්ගේ ජාලගත සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මේ සමුළුව පසුගිය 27 ආරම්භ වූ අතර හෙට (30) අවසන් වේ. 
     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අපගේ මුතුන්මිත්තන් පාරිසරික සම්පත් පරිභෝජනයේ දී ආර්ථික කරුණු සලකා හෝ ප‍්‍රතිලාභ සලකා කිසිදු කටයුතු නොකළ බවත් සම්පත් පරිභෝජනයේදී තිරසාරාත්මක ආකාරයෙන් ක්‍රියාකළ බවත් පෙන්වා දුන්නේය. නමුත් රට යටත් විජිතයක් බවට පත්වීමත් සමඟ ක‍්‍රමයෙන් වාණිජමය ක‍්‍රියාකාරකම් ආරම්භවීම හේතු කොටගෙන පරිසරයට කරන බලපෑම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ප්‍රකාශ කළේය. 
     
    කාර්මීකරණය සහ වාණිජකරණයේ ව්‍යාප්තියත් සමඟ ජන ජීවිතය බලශක්ති-සූක්ෂම ජීවන රටාවකට අප පුරුදුවීම නිසා ස්වාභාවික සම්පත් මෙන්ම පාරිසරික සංරචකයන්ගේ තිරසාරාත්මක පැවැත්මට බාධා එල්ලවීම ක‍්‍රමයෙන් තීව්‍ර වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ නිසා පරිසර පද්ධතිවල සමතුලිතතාව බිඳවැටීමත් දේශගුණික විපර්යාස සහ ස්වභාවික ආපදාවල ගොදුරුබවට පත්වීමේ ප‍්‍රවණතාව වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.  


    රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ආරම්භයේ සිටම අන්තර්ජාතික පරිසර ප‍්‍රඥප්තිවලට එකඟව කටයුතු කරන රටක් බවත් අනාගත පරපුර සඳහා පරිසරය සුරක්ෂිත කිරීමේ සාමුහික වගකීමෙන් අප බැඳී සිටින බවත් මේ අවස්ථාවේදී ඔහු පෙන්වා දුන්නේය. ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව වැඩපිළිවෙළවල් රාශියක් ඉටුකර ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමා 1994දී ජාතික ඕසෝන් ඒකකය ස්ථාපිත කීරීම වැදගත් පියවරක් බවත් එසේම හරිතාගාර ක‍්‍රියාකාරකම් සඳහා බලපාන ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් අවම කිරීම සඳහා කටයුතු කළ බව බවත් ඔහු පැවසීය.
     
    පුරෝකථනය කරනු ලබන කාලපරාසයට වඩා ඉක්මනින් දේශගුණික විපර්යාසයන්ට අප මුහුණදෙමින් සිටින බවත් මේ සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වූ හරිතාගාර වායු විමෝචනය හේතු වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යතුමා මේ නිසා පරිසරය ආරක්ෂා කිරීමට සමගාමීව තිරසාරාත්මක බලශක්ති පරිභෝජනය ක‍්‍රමවේදයක් සකස් කිරීම ද අත්‍යවශ්‍ය මෙන්ම ඉතා වැදගත් මානයක් බව අමාත්‍යතුමා තවදුරටත් පෙන්වා දුන්නේය.
     

    එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පරිසර හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාශ ජාතික ඕසෝන් ඒකකය හා එක්ව සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ඕසෝන් නිලධාරීන්ගේ සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ නියෝජිතයන් සහ ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 20ක නියෝජිතයන් සමඟ පරිසර ක‍්‍රියාකාරීන් මේ අවස්ථාවට සහභාගී වූහ. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya