අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරපාසල් ඩිප්ලෝමා පුහුණුව නිම කළ ගුරුවරියන්ට සහතික පිරිනැමේ Featured

    මැයි 21, 2014

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා අධ්‍යාපන පදනම එක්ව නොමිලේ පවත්වනු ලබන පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකළ පෙර පාසල් ගුරුවරියන් 48 දෙනෙකුට සහතික පිරිනැමීම ඊයේ (20) ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ලේරියාව ජාතික ළමා අධ්‍යාපන ආයතනයේ දී සිදු කෙරිණි.


    ඒ අනුව 2013 වසර සඳහා ඩිප්ලෝමා පුහුණුවට බඳවාගත් පෙර පාසල් ගුරුවරියන් වෙත මෙදින සහතික පිරිනැමූ අතර, 2014 සඳහා ඩිප්ලෝමා පුහුණුවට පෙර පාසල් ගුරුවරියන් 120 දෙනෙක් බඳවා ගෙන ඇත. ඔවුන් පිළිගැනීම ද මීට සමගාමීව එහිදී සිදු කෙරිණි.

    ජාතික ළමා සංවර්ධන පදනම මීට වසර 25කට පෙර ආරම්භ කළ මෙම පුහුණු පාඨමාලාව මේ වන විට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාල සමඟ එක්ව සිදු කරනු ලබයි.ජාතික ළමා අධ්‍යාපන පදනමේ නිර්මාතෘ, මුල් ළමාවිය හා ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය පුජ්‍ය බදගිරියේ සෝමවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුහුණු පාඨමාලාව පැවැත්වෙයි.


    ඉගැන්වීම් ක්‍රම මෙන්ම ක්‍රීඩා, නාට්‍ය, සංගීත යන ප්‍රායෝගික විෂයන් ඇතුළු සමස්ත විෂයන් 32ක් මෙම ගුරුපුහුණුව යටතේ අධ්‍යනය කිරීමට පෙර පාසල් ගුරුවරියන්ට අවස්ථාව සලසා ඇත. එමෙන්ම මෙම විෂයන් ඉගැන්වීම පෙර පාසල් අධ්‍යාපනය ඇතුළු අදාළ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් සිදු කෙරේ. ළමා ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු පාඨමාලාව පැවැත්වෙයි.

    පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලු හා අභියෝග හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බවද විශේෂයෙන් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ගුරුවරියන්ගේ දැනුම වර්ධනය කරවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය බදගිරියේ සෝමවංශ හිමියන් පැවසූහ.


    උන්වහන්සේ තවදුරටත් පැවසුවේ, පෘතුගීසිල ලන්දේසි හා විශේෂයෙන් ඉංග්‍රීසින්ගේ පැමිණිමත් සමඟ මෙරට සංස්කෘතියේ විශාල කඩාවැටීමක් සිදු වුණා. කෘෂි ආර්ථිකයක් සමඟ බද්ධ වී ඇති මෙරට සංස්කෘතිය දරුවන් වෙනුවෙන්ම ඇති අගනාකම් ඇතුළත් චින්තනයක් අවාසනාවකට අද එය වෙනසකට භාජනය වෙමින් තිබෙනවා.

    යම්කිසි විෂයක් හැදැරීමේ දී එහි න්‍යායික කොටස මෙන්ම ප්‍රායෝගික අංශය ද ඉතා වැදගත් වේ. යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමෙන් පමණක් බුද්ධිමතුන් බිහිවන්නේ නැත. අධ්‍යාත්මික බව සහ අනුන්ගේ යහපත ගැන හිතන චින්තනයක් ඒ තුළ තිබිය යුතුයි. මේ රටේ මුල් ළමාවිය සංවර්ධනයට විදෙස්                                                                                           

    රටවල උපදෙස් හෝ මඟ පෙන්වීම අවශ්‍ය නැත. දරුවෙකු ඉපදුන දා සිට ඔහුගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය උපදෙස් බුද්ධ දර්ශනයේ අන්තර්ගතවතිබෙනවා. ඒ වගේම එය කිසිදු ආගමික භේදයකින් තොරව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි. ආගම්වාදී නොවන ලෝකයේ එකම කණ්ඩායම වන්නේ මේ රටේ බෞද්ධයෝ බව විශේෂයෙන් කිව හැකියි.

    මෙහිදී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ,  පෙරපාසල් අධ්‍යාපනය යනු ඉතාමත් වැදගත් විෂය ක්ෂේත්‍රයකි. මේ රටේ අනාගතය තීරණය කරන වැදගත්ම සාධකයක් වන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි  මීටත් වඩා සැලකිල්ලක් දැක්වීය යුතුයි. දරුවෙකු කුඩා කළ ඉගෙනගන්නා හොද නරක අනාගතයේ දී ඔහුට යහපත් හෝ අයහපත් ලෙස බලපෑ හැකියි. පෙරපාසල් ගුරුවරිය දරුවාගේ දෙවන මව මෙන් කටයුතු කළ යුතුයි. මෙය ඉතාම වගකීම් සහිත රාජකාරියකි. විවිධ පටු අරමුණු වෙනුවෙන් පෙරපාසල් ගුරුවරියන් පුහුණු කරන ආයතන තිබෙනවා. නමුත් ජාතික ළමා අධ්‍යාපන පදනම ජාතික වගකිමක් ඉටු කරමින් ඉතාම කැපවීමෙන් ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තිමත් පදනමක් දැමීමටත්, පරිපුර්ණ දැනුමෙන් යුතු පෙරපාසල් ගුරුවරියන් බිහි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය පුජ්‍ය බදගිරියේ සෝමවංශ හිමියන් රටට ජාතියට විශාල මෙහෙවරක් සිදුකරනවා. බුද්ධියෙන් පිරුණු මානුෂික හදවත් ඇති ගුරු පිරිසක් බිහි කිරීමට ජාතික ළමා අධ්‍යාපන පදනමට හැකියාව ලැබී තිබීම සතුටට කරුණක් වෙනවා.              

                                                                                                
    2013 වසර සඳහා බඳවා ගෙන ඩිප්ලෝමා ගුරු පුහුණුව නිමකළ ගුරුවරියන් සඳහා සහතික ලබාදීම සහ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන්ට පදක්කම් පිරිනැමීම ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
    මීට අමතරව 2014 වසර සඳහා පුහුණුවට බඳවාගත් පෙරපාසල් ගුරුවරියන්, ගුරු ප්‍රතිඥාව කියවීම හා ඔවුන්ට ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    මේ අවස්ථාවට ශාස්ත්‍රඥපති මඩවල ධම්මික ජිනවංශ හිමියන්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ළමා ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ අරුණ අතුකෝරාල යන මහත්වරු ඇතුළු පුහුණු කටයුතු සිදුකරන ආචාර්ය මණ්ඩලය මෙන්ම මුල්ලේරියාව ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් ද පැමිණ සිටියහ.

    ECB

    child2

    child3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya