අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ e Women නමින් ජාතික දත්ත පද්ධතියක්

    මැයි 07, 2014
    කාන්තාවන් ආර්ථීක හා සමාජයීය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් විධිමත් අයුරින් ජාතික සංවර්ධනයට දායක කරගැනීමේ දී මෙන්ම විවිධ පර්යේෂණ හා විශ්ලේෂණයන් සිදුකිරීමේ දී අත්‍යවශ්‍ය ම වන වැදගත් තොරතුරු ඇතුළත් නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.
     
     
    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සමඟ ඒකාබද්ධව සිදුකෙරෙන මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ලබන 09 වන දින පෙ.ව 9.00ට කොළඹ 07, විජේරාම මාවත, අංක 114 පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා  පුහුණු ආයතනයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
     
    ඒ අනුව e Women සංකල්පය යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහන හරහා මෙරට වැන්දඹු හා ගෘහමූලික කාන්තාවන්, ව්‍යවසායක කාන්තාවන්, හිංසනයට හා අතවරයට පත්වන කාන්තාවන් හා සේවා වියුක්ති හා සේවා නියුක්ති කාන්තාවන් පිළිබඳ නිවැරදි දත්ත හා තොරතුරු ලබාගැනීමට නියමිත ය.
     
    ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් ඇතුළු කාන්තාවන් සම්බන්ධයෙන්  වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මෙම දත්ත පද්ධතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
    එමෙන්ම පසුගිය යුධ සමයේ සහ ඊට පසු ඇතැම් ස්වේච්ඡා සංවිධාන විසින් මෙරට කාන්තාවන් පිළිබඳ අසත්‍ය දත්ත හා තොරතුරු භාවිත කරමින් විවිධ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරනු ලැබූ බව ද මෙලෙස කාන්තාවන් පිළිබඳ ජාතික තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ දී එවැනි වැරදි ක්‍රියා සඳහා අවස්ථා උදා නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම වැඩසටහනට සමගාමීව එදින දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්  කාර්යාල මට්ටමින් ස්ථාපිත කෙරෙන  "ළමා හා කාන්තා සංවර්ධන ඒකක" සඳහා උපකරණ බෙදාදීම ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya