අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

    මාර්තු 05, 2024

    1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80වන වගන්තිය මඟින් තවත් නිලධාරීන් හා පුද්ගල කාණ්ඩ ගණනාවක් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා තිබේ.

    මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු,

    පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන ආයතනවල තෝරා පත් කර ගනු ලැබූ සභිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විනිසුරුවරුන් සහ රජයේ නිලධරයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධරයන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන අධිකරණ නිලධරයන් සහ ලේඛනගත රජයේ නිලධරයන්, අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ)ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලබන ලද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උප ලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කොමිෂන් සභාවල අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාවේ සභාපතිවරුන් හෝ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධරයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඇ)ව්‍යවස්ථාව යටතේ හෝ යම් ප්‍රඥප්තියක් යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවල මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ස්වාධීන නියාමන සහ අධීක්ෂන කොමිෂන් සභාවල හෝ පුද්ගල මණ්ඩලවල සභාපතිවරු, කොමසාරිස්වරු, සාමාජිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද යම් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරු,

    අධ්‍යක්ෂවරු, මණ්ඩලවල සාමාජිකයන්, විධායක නිලධරයන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් මීට අදාළය.

    තවද (357 වන අධිකාරිය වූ) යුද්ධ හමුදා පනතේ විධිවිධානවලට අනුකූලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධරයන්, (358 වන අධිකාරය වූ) නාවික හමුදා පනතේ විධිවිධානවලට අනුකූලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධරයන්, (359 වන අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ විධිවිධානවලට අනුකුලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලලත් නිලධරයන්, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත, (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥාපනත හෝ (138 වන අධිකාරය වූ) වෘත්තීය සමිති ආඥාපනතේ කාර්ය සඳහා වන පිළිගත් දේශපාලන පක්ෂවල තනතුරු දරන්නන්, (138 වන අධිකාරය වූ) වෘත්තීය සමිති ලියාපදිංචි වී ඇති වෘත්තීය සමිතිවල විධායක නිලධරයන්, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත, (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ පවත්වනු ලබන ඡන්ද විමසීමක දී තෝරා පත් කර ගැනීම සඳහා නම් කළ අපේක්ෂකයන්, රජය හෝ රජයේ සංස්ථාවක් විසින් 25%කට නොඅඩු කොටස් දරන්නා වූ 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කළ සමාගම්වල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරු සහ මාණ්ඩලික නිලධාරියන් මේ පනතේ අර්ථානුකූලව උපලේඛන ගත ආයතන වන්නා වූ මූල්‍ය ආයතනවල කළමනාකරණ හෝ අධීක්ෂණ කටයුතුවල නියැලෙන කාර්ය මණ්ඩලය ද මීට ඇතුළත්ය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය දූත මණ්ඩලවල ප්‍රධානීන්, අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රාජ්‍ය දූත මණ්ඩලවලට පත්කරන ලද නිලධරයන් (180 වන අධිකාරය වු) ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරනු ලැබ ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්, 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍ර මගින් මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව පිහිටුවනු ලැබු ජාතික ක්‍රීඩා සංගම්වල ධූර දරන නිලධරයන් සහ යම් නිලධරයන් ඔවුන්ට අදාල යම් නිලයන්වල කටයුතු කිරීමේ දී එම වැඩකටයුතුවල ස්වභාවයන් සැලකිල්ලට ගත් විට අල්ලස් හෝ දූෂණවලට පෙළඹීමට ඒ නිලධරයාට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අධි අවදානම් කාණ්ඩ ලෙස නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි පරිදි වූ යම් වෙනත් නිලධාරි කාණ්ඩයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා තිබේ.

    එමෙන්ම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඇති කිරීමේ අවශ්‍යතාවය අදාල පනත මගින් දක්වා ඇති අතර, එම පද්ධතිය විධිමත්ව ආරම්භ කරන තෙක් නව පනතේ විධිවිධාන අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අකෘතියේ සංශෝධන කිහිපයක් ද සිදු කර ඇත.

    ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය හා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධිත ආකෘතිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය (www.ciaboc.gov.lk) මඟින් 2024-03-01 දින සිට බාගත කර ගැනීම සිදු කළ හැකිය.

    මින් ඉදිරියට නැවත දැනුම්දීමක් කරන තෙක් ඉහත කී චක්‍රලේඛය ප්‍රකාරව අදාල නිලධාරීන් පුද්ගලයන් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විවර්ශන කොමිෂන් සභාව දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya