මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට පුරා මාර්ග කිලෝමීටර්1500ක් ප්‍රති සැකසීමේ ව්‍යාපෘතිය යටතේ හෝමාගම මාර්ග ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

    මාර්තු 04, 2024

    රට පුරා මාර්ග  කිලෝමීටර්1500ක් ප්‍රති සැකසීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන  හෝමාගම බටහිර හොරගල විමලතිස්ස මාවත සිට  නැගෙනහිර හොරගල දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

     දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවී ඉතාමත් අබලන් තත්වයේ පවතින මෙම මාර්ගයේ පවතින අබලන් හේතුවෙන් ප්‍රදේශයේ පාසල් සිසුන්, දෛනිකව රැකියාවන් සඳහා  ගමන් ගන්නා පිරිස් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවයන් රැසකට මුහුණ දී සිටියහ.

     මෙම තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මාර්ගයේ සංවර්ධන කටයුතු මෙලෙස ආරම්භ කෙරුණු අතර කඩිනමින් එහි සංවර්ධන කටයුතු අවසන් කිරීම අරමුණයි.

    බස්නාහිර පළාත්, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ හෝමාගම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන  හෝමාගම, පිටිපන පන්සල මංසන්ධියේ සිට  දොළහේන උඩුවන දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ද ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    කි. මී.1.5වන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති මුදල රු.40,000,000.00කි.

     මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "මීට පෙර අබලන්ව පැවති මාර්ග අලුත්වැඩියා කොට නවීකරණය සිදුවුවත් පසුගිය වසර තුනක පමණ කාල පරිච්ඡේදයේදී එම සංවර්ධන වැඩසටහන්  ක්‍රියාත්මක කළ විදේශ ව්‍යාපෘති සියල්ල ඇන හිටියා. එම සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ විදේශීය වශයෙන් ලබා ගත් ණය ආධාර යටතේ. නමුත් කිසිදු දේශපාලනඥයෙකු නිවැරදි ආකාරයට ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේ නැහැ. එලෙස අති විශාල ලෙස විදේශ ණය ලබාගැනීමට හේතු වූයේ එම ආණ්ඩු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබීමයි. ආණ්ඩු බලයක් පිහිටුවීමට බලාපොරොත්තු වන දේශපාලනඥයින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුත්තේ මෙවැනි තත්ත්වයක් යටතේ කුමක් කරනවාද කෙසේ සිදු කරනවාද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමයි.

     කිසිදු පුද්ගලයෙකුට තමන් මුහුණ දෙන ගැටලු තනිව විසඳා ගැනීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය පහසුකම්, විදුලිය ජලය ඇතුළු යටිතල පහසුකම්, දරුවන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් ඇතුළු මේ සියල්ල තනි තනිව සම්පූර්ණ කර ගැනීමට ජනතාවට හැකියාවක් නැහැ. ජනතා ඡන්දයෙන් පත්වන ආණ්ඩුවකට එවැනි පහසුකම් ලබාදිය නොහැකි නම් ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

     මාර්ග සංවර්ධනය ඇතුළු මේ සියල්ල රජයක් විසින් ණය ලබා ගැනීම තුලින් සිදු කරන ව්‍යාපෘති. නමුත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති ඇතැම් පිරිස් ප්‍රකාශ කරන්නේ මෙය ජනතා බදු මුදලින් සිදුකරන කටයුත්තක් ලෙසයි. කිසිදු දිනක ආණ්ඩුකරණය තබා සුරුට්ටු කඩයක් හෝ පවත්වාගෙන ගොස් නොමැති කෙනෙකුට ආණ්ඩුවක මුදල් කළමනාකරණය පිළිබඳව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එම නිසා මූල්‍ය කළමනාකරණය පිළිබඳව අප පත්ව තිබෙන තත්ත්වය ගැන මුළු රටම මේ මොහොතේ කතා කළ යුතුයි.

     ඉතිහාසයේ පටන් මෙතෙක් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ණය ලෙස තවදුරටත් ගෙවීමට ඉතිරි වී තිබෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක්. මේ අති විශාල ණය ප්‍රමාණය ගෙවීම පිළිබඳව විදේශීය රටවල්, ජාත්‍යන්තර සංවිධාන  සමග දීර්ඝ සාකච්ඡා මාලාවකින් අනතුරුව එය ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබෙනවා. එහිද අවසන් ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ මේ මාසයේදීයි. එය සාර්ථක වීමෙන් අනතුරුව සමස්ත ශ්‍රී ලංකාවේම නතර වී ඇති සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා.

    මෙවැනි තත්ත්වයන් පිළිබඳව බොරු මත ප්‍රකාශ කරමින් ජනතාව රවටනවා වෙනුවට පවතින තැනින් රට මුදා ගැනීමට කටයුතු කිරීම සෑම පුරවැසියකුම සතු පරම යුතුකමක් සහ වගකීමක් වනවා. රටේ පවතින ආර්ථික ගැටලුවට ආණ්ඩු වෙනස් කිරීමෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. දේශපාලනඥයින් වෙනස් කිරීමෙන් පිළිතුරක් ලැබෙන්නේද නැහැ. ඊට ඇති ආර්ථික විසඳුමක් පමණයි.

     එලෙස රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහාත් ප්‍රදේශයේ සංවර්ධනය උදෙසාත් අපනයන අභිමුඛ තැඹිලි නිෂ්පාදන ගම්මානයක් ලෙස හෝමාගම දාම්පේ ප්‍රදේශය පරිවර්තනය කිරීමට අප පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක තැඹිලි පැළ ලබා ගැනීම සඳහා මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ අවශ්‍ය සාකච්ඡා සිදුකර තිබෙනවා."

    මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ විහාරවාසී මහා සංඝරත්නය, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya