මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

    මාර්තු 01, 2024

    වන අලි  දුම්රියේ ගැටී සිදුවන අනතුරු අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන්,මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) ගල්ගමුව-ගැටදිවුල-කාසිකොටේ දී ආරම්භ කෙරිණි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව වන අලින් මෙම දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට පත්වීම වැළැක්වීම සඳහා මෙම විශේෂ පියවර ගෙන තිබේ.

    ඒ අනුව පසුගිය වසර කිහිපය තුල දුම්රියෙහි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වන අලි 150 - 200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසි කොටේ, ගැටදිවුල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට යටින් මෙම වනජීවී උමං මාර්ගය ඉදි කෙරෙනු ඇත.

    මෙම වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහව - ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, මෙලෙස එහි ඉදිකිරීම්  නිල වශයෙන් ආරම්භ කරන ලදී.

     මෙහිදී අනුශාසනයක් සිදුකළ සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ,

    "රජ සමයේ පවා සිදු නොවූ, ඊට පසුකාලීන ලාංකික ඉතිහාසයේද සඳහන් නොවන,ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය වන්නේ අද ඉදිකිරීම් ආරම්භ වන කාසිකොටේ උමං මාර්ගයයි. එය ඉතාමත් ඓතිහාසික කාර්යභාරයක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ ලියැවෙන කරුණක්. වනජීවින්ගෙන් මිනිසුන් වෙන් කල නොහැකියි. ගැටුම් ඇතිවන්නේ එය වෙනස් වන අවස්ථාවන්වලදීයි.

    සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කෙරෙන විට ලෝකයේ පිලිගන්නා නිර්ණායක අතර ඉතාමත් සුවිශේෂී නිර්නායකයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය මෙලෙස ආරම්භ කරන වනජීවි උමං මාර්ගය සැලකිය හැකියි. එය වනජීවීන් මෙන්ම මිනිසුන් වෙනුවෙන්ද ඉතාමත් වටිනා තීරණයක් ලෙස සලකනවා. වන සතුන් නිතර ගමන් කරන, ඔවුන්ට හුරුපුරුදු මාර්ගය තුළ කුමන බාධක පැවතුණත් වන අලින් ඒ හරහා ගමන් කරනවා. බොහෝ දෙනකු මෙය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස දකින නමුත්, මා එය දකින්නේ රටේ සිදු කෙරෙන සුවිශාලතම පින්කමක් හැටියටයි. මෙම ස්ථානයේදී පමණක් අලි අට දෙනෙකුට වඩා දුම්රියේ ගැටී මිය ගොස් තිබෙනවා. මෙය තව දුරටත් සිත් පිත් ඇති මිනිස්සුන්ට බලා සිටිය හැකි කරුණක් නොවෙයි. මේ පිළිබඳ දැනුවත් කරමින් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපි සඳහා ඉතාමත් සුළු වේලාවක් තුළ  ප්‍රතිචාර දැක්වීමට තරම් එතුමා කාර්යක්ෂමව සිය වගකීම ඉටුකළා. අමාත්‍යංශයේ ලේකම්තුමාද ඉතාමත් ප්‍රායෝගිකව සිදු කළ හැකි සියල්ල සිදුකිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා.

    අප වසර ගණනක් අලි මිනිස් ගැටුමට පිළිතුරු සෙව්වේ සිදුකළ නොහැකි දේ පිළිබඳ කාලය නාස්ති කරමිනුයි. නමුත් මේ මොහොතේ ප්‍රවාහන අමාත්‍යාංශය ඒ වගකීම භාර ගනිමින් අති විශාල වියදමක් දරමින් මීට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රදේශවාසීන් තුළද යම් යම් කුතුහලයෙන් පවතිනවා. නමුත් මිනිසුන්  මෙන්ම මේ සතුන්ද ජීවත්විය යුතුයි. එමෙන්ම රටේ සංචාරක ව්‍යාපාරයෙන් 50% වඩා අති විශාල ආදායමක් ලබා දෙන්නේ අලි ඇතුළු වන සතුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින් වැය කරන ඩොලර් තුළින්. ලෝකයේ සිටින අලි විශේෂ අතරින් අතිශය සුන්දරම ආසියානු අලින් ඉතාමත් ළඟින් නිරීක්ෂණය කළ හැක්කේ ශ්‍රී ලංකාවේ බව ලොවපුරා සංචාරකයින් අතර ජනප්‍රිය වී තිබෙනවා. ලෝකය ශ්‍රී ලංකාව හඳුනා ගන්නා විශේෂම සලකුණක් බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලාංකික අලි. අලින් යනු අපේ ආර්ථිකයට සම්පතක්. අති විශාල අලි ප්‍රමාණයක් එකවර ගැවසෙන මෙම ප්‍රදේශයේ ජනතාවටද සංචාරකයින්ට එම අලින් නැරඹීමට අවශ්‍ය පහසුකම් ලබාදීම තුළින් විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා මේ ප්‍රදේශයේ ජනතාවද උනන්දු විය යුතුයි. ඉන්දියාව වැනි රටවල ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව එවැනි ක්‍රමවලින් විශාල මුදල් උපයනු ලබනවා. මේ ප්‍රදේශයම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කළ හැකියි. අක්කර 900කට‍ අධික මේ අවට භූමි ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ජීවී කලාපයක් ලෙස නම් කිරීම තුළින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය හැකිවනවා . දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතියට අනුව පොසොන් මාසය වන විට පැයට කිලෝමීටර් සීයකට අධික වේගයෙන් දුම්රිය අනුරාධපුර දෙසට ගමන් කරනවා. එවැනි වේගයකින් ගමන් කරන දුම්රියක අලි රංචුවක් ගැටුණහොත් අති විශාල විනාශයක් සිදුවිය හැකියි. එම නිසා මෙම වන ජීවී උමං මාර්ගය ඉදිකිරීම ඉතාමත් ප්‍රායෝගික සහ කාලෝචිත ක්‍රියාමාර්ගයක්. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳ ඉතාමත් ප්‍රායෝගිකව කටයුතු කරන බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට අපගේ ස්තුතිය හිමිවිය යුතුයි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya