ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2024 දී නැවත ඇරඹීමට පියවර

    අගෝස්තු 24, 2023

    ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර වැඩසටහනේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් 23 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රදාන වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් වරිය මෙහිදී පැවසුවාය. එය රෝගියාගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති දැනුම් දීමට සහ නැගී එන තර්ජනවලට අනතුරු ඇඟවීමට මහජන සෞඛ්‍ය නිරීක්ෂණ සඳහා සහාය වනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතනවල සහාය ඇතිව ප්‍රදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

    රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගමනයට ඉමහත් ප්‍රයෝජනවත් වන මෙම සෞඛ්‍ය සේවා වැඩසටහනේ ප්‍රතිලාභියා ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් රාජධානියට ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව බ්‍රිතාන්‍ය ක්‍රමය මත ක්‍රියාත්මක වන බවත් එවැනි සෞඛ්‍ය සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ් මහතා විසින් කවුන්සිලයේ ඉංග්‍රීසි භාෂා පුහුණු ක්‍රම පිළිබඳ ප්‍රකාශන මාලාවක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

    ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩබලන මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය.

    එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ ආචාර්ය ජෙසිකා වොලිස් සහ වෛද්‍ය නේහා ගුලාටි, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිළධාරී ඇන්ඩෘ ප්‍රයිස් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya