සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් -ජනපති

    අගෝස්තු 24, 2023

    විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    එම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දුන්නේය.


    සෑම කටයුත්තකදීම වැදගත්ම සාධකය වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය බවත්, දේශගුණික අභියෝගවලට මුහුණදිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    ඒසේම දේශගුණික අභියෝග ජය ගැනිමේ දී ජාත්‍යන්තර සම්මුතීන්ට සහ න්‍යාය පත්‍රවලට අනුගතව කටයුතු කිරීමේ අවශතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

     

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.


    දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු පිළිබඳව කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර තිබෙන බවයි.


    එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුව (COP28) සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

     

    පරිසර අමාත්‍ය නෂීඩ් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, පරිසරය, දේශගුණය සහ හරිත මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක ආනන්ද මල්ලවතන්ත්‍රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya