නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ තැනැත්තන්ගේ විස්තර ළඟම ඥාතීන්ට දැන්වීමේ ජාතික වගකීම තහවුරු කිරීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පරමාර්ථයයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුලන්ද

    අගෝස්තු 23, 2023

    යම්කිසි පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදහන් වී ඇත්නම් හෝ අතුරුදහන් කරවා ඇත්නම් එම පුද්ගලයාගේ ළඟම ඥාතීන්ට ඒ පිළිබඳව විස්තර දැනගැනීමට අයිතියක් තිබෙන බවත්, එය ඥාතීන්ට දැන්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ වගකීමක් තිබෙන බවත්, එම ජාතික වගකීම තහවුරු කිරීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පරමාර්ථය වන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුලන්ද මහතා අද (23) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වත්මන් ක්‍රියාකාරිත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ කැමැත්තට විරුද්ධව බලහත්කාරයෙන් පැහැරගෙන එම තැනැත්තාව අතුරුදහන් කරවීම පිළිබඳව පැමිණිලි භාර ගැනීම, විමර්ශනය කිරීම, එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයා බලා යම් හෙයකින් එම පුද්ගලයින් සත්‍ය වශයෙන්ම අතුරුදහන් වී ඇත්නම් අතුරුදහන් වීම පිළිබඳව සහතිකයක් අදාළ ඥාතීන් වෙත ලබා දීම යනාදී කටයුතු මෙම අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සිදුකරන ක්‍රියාවලියට අදාළ වේ.

    එමෙන්ම, මෙරට පැවති 30 වසරක යුධමය වාතාවරණය 2019 මැයි 18 වන දින අවසන් වීමත් සමඟ ලොව රටවල්, මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, රතුකුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන ආදියෙහි අවධානය ශ්‍රී ලංකාවට වැඩි අවධානය යොමු විය. එහි දී අතුරුදහන් වුවන් පිළිබඳව තොරතුරු පිළිබඳව සොයා බැලීම සහ අතුරුදහන් වුවන්ගේ තොරතුරු ළඟම ඥාතීන්ට දැනගැනීමට සැලැස්වීම මෙම කාර්යාලය ආරම්භ වීමට මුලිකම හේතුව විය. එමෙන්ම 2014 අංක 14 දරණ අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාල පනත ද ඒ සමඟ ආරම්භ වුවත් එය ක්‍රියාත්මක වූයේ 2018 දී ය.

    ඒ අනුව මේ වන විට 2023 අගෝස්තු 21 දිනට ලැබී ඇති අතුරුදහන්වීම් වලට අදාළ පැමිණිලි ප්‍රමාණය අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 21,374 කි. එමෙන්ම, ආරක්ෂක අංශයේ නිලධරයන්ට අදාළව ලැබුණු පැමිණලි සංඛ්‍යාව 6,386 ක් වන අතර වර්තමානය වන විට සක්‍රීය පැමිණිලි සංඛ්‍යාව 14,988 ක් වේ.

    එමෙන්ම විමර්ශන කටයුතු සංධා ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 11,169 කි. 2023 වසරේ අගෝස්තු 30 වන විට 2000-2001 අතර කාලයේ සිදු වූ අතුරුදහන් වීම් වලට අදාළ පැමිණිලි සංඛ්‍යාවේ පළමු අදියරේ පැමිණිලි 2,206 ක් විමර්ශනය කර අවසන් කිරීමට හැකි වනු ඇති බව ද මහේෂ් කටුලන්ද මහතා වැඩිදුරටත් මෙහි දී ප්‍රකාශ කළේය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ටී. යෝගරාජා, සහ එහි විධායක අධ්‍යක්‍ෂ නීතිඥ ජේ.තත්පරන් යන මහත්වරු ද මෙහි දී සිය අදහස් පළ කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya