නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ගරුතර ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලබා ගනී.

    අගෝස්තු 11, 2023

    විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ගරුතර ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී සිදු විය.

    මෙම අදහස් ලබාගැනීම සිදු වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී විවෘත සහ වගකිව යුතු රජයක් සකස්කිරීම සඳහා සම්පාදනය විය යුතු අණ පනත් පිළිබඳව සහ සංශෝධනය විය යුතු අණ පනත් පිළිබඳව පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා විසින් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදි.

    එසේම මෙහිදී රටේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාවය ගරුතර ස්වාමීන්වහන්සේලා පෙන්වා දුන්හ. විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිපත්තිය සහ ජාතික ප්‍රතිපත්තිය පටලවා නොගෙන සෑම ආණ්ඩුවක් විසින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක් මෙරටට වැදගත් වන බව උන්වහන්සේලා පෙන්වා දෙන ලදි.

    එසේම අන්‍යාගමික සංවිධානවල අවශ්‍යතාව මත ස්වාමීන් වහන්සේලා සමිබන්ධයෙන් ගොඩනගන වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නෛතික පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී ස්වාමින්වහන්සේලා පෙන්වා දුන්හ.

    මෙම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙම කමිටුවට සිදු කළ හැකි මැදිහත්වීම සිදු කිරීමට කටයුතු කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම මෙම ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම කාරක සභාව සඳහා අති පූජ්‍ය ආණමඩුවේ ධම්ම දස්සී නාහිමි, අති පූජ්‍ය පහමුනේ සුමංගල නාහිමි, අති පූජ්‍ය (ආචාර්ය) වලේ‌බොඩ ගුණසිරි නාහිමි, අති පූජ්‍ය (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) කිවුලේ ගෙදර නාරද නාහිමි, අති පූජ්‍ය (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, අති පූජ්‍ය (මහාචාර්ය) පින්නවල සංඝසුමන නාහිමි, අති පූජ්‍ය (මහාචාර්ය) නාඹිරිත්තන්කඩවර ඥානරතන නාහිමි, අති පූජ්‍ය (මහාචාර්ය) මැදගොඩ අබයතිස්ස නාහිමි, අති පූජ්‍ය (ආචාර්ය) කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි, අති පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර නාහිමි සහ අති පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමි සහභාගී වූහ.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයන කිරිදිගොඩ, ජයන්ත වීරසිංහ සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya