නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකියි - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

    අගෝස්තු 05, 2023

    නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙම කාරක සභාව සඳහා අදහස් ලබාගැනීමට විශ්ව විද්‍යාල නියෝජනය කරන ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තම අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සිදු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩිකරගැනීම අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වන බවත්ය. උදාහරණ ලෙස වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකයට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බවත් මෙරට සේවා ආර්ථිකයක් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම මෙරට දේශපාලන ස්ථාවරභාවයක් පැවතීම විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීමේදී වැදගත් වන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

    තවද 1960 දශකය ලෝක ආර්ථිකයේ සක්‍රීයම කාලසීමාව ලෙස පැවති බවත් පරිගණකය හඳුන්වාදීම මගින් ලෝක වෙළඳාම පුලුල් වූ බවත් හෙතෙම පැහැදිලි කළේය. එසේම කොවිඩ් කාලසීමාව තුළදී මෙරට අපනයන සම්පූර්ණයෙන්ම පාහේ නැවතුන බවද පෙන්වාදුන් ඒ මහතා මෙරට දුප්පත් ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් මුදල් සහන ලබාදීමට සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මෙම කාලසීමාව තුළ මුදල් මුද්‍රණය කිරීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මේ වන විට 70% පමණ පැවති උද්දමනය මහ බැංකුවේ මැදිහත්වීමෙන් 10% ක පමණ තත්ත්වයට පාලනය කිරීමට සමත් වී ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේය. එසේම අද වන විට සේවා වියුක්තියේ පුරෝකථනයක් පවතින බවත් නිවැරදි ගණනය කිරීමක් නොපවතින බවත් ඒ මහතා පැවසීය.

    තවද මෙහිදී අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පෙන්වාදුන්නේ, නිෂ්පාදකයන් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙරට නොපවතින බවයි. එසේම ආර්ථිකය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

    වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා පෙන්වා දුන්නේ මෙරට ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවාගෙන ඇති බවයි. මේ නිසා ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බව මහචාර්යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාව බවත් එරට ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සමග බද්දවී නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

    එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාද මෙහිදී අදහස් දක්වමින් කරුණු 5ක් පිළිබඳ පැහැදිලි කළ අතර එම අදහස් ලිඛිතව මෙම කමිටුව වෙත ලබාදීමටද කටයුතු කරන බව පැවසීය.

    කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ තොරතුරු පසු විපරම් කිරීම සඳහා මෙරට ඒකකයක් නැති බවයි. මේ නිසා ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් මෙරටට වැදගත් වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    එසේම මහාචාර්ය බන්ධුල ජයතිලක මහතා පෙන්වා දුන්නේ විදේශ විශ්ව විද්‍යාලවල සහායද මෙම අංශ කෙරෙහි ලබාගත යුතු බවයි. තවද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ණය තිරසාර කිරීම සහ මෙරටට ආයෝජන ලබාගැනීම පිළිබඳව පැහැදිලි කරන ලදි. විශේෂයෙන්ම මෙරටට ආයෝජකයන් පැමිණීමේදී ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගයන් සපයාදීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, (මේජර්) ප්‍රදීප් උඳුගොඩ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya