මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට සහය දෙන්න- ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලයි

    අගෝස්තු 05, 2023

    ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සදහා සිය දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය
    ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.

    නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර හමුවක් පසුගියදා (28) ඕක්ලන්ඩ් හිදී පැවැත්වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සදහන් කළේ මව්බිම මේ මොහොතේ මුහුණ දී තිබෙන අසීරු තත්ත්වයෙන් මිදීම සදහා සහයෝගය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද අදහස් දැක්වූ සභාපතිනිය පැවසුවේ සිය සංසදය විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගෙන් සමන්විත වුවද පොදු අරමුණු වෙනුවෙන් එක්ව පෙනී සිටින බවයි.

    නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙම චාරිකාව සඳහා නවසීලන්තය තෝරා ගැනීම පිළිබද ඇය සිය සතුට පළ කළාය. විශේෂයෙන් කාන්තා දේශපාලන නියෝජනය සඳහා වඩාත් හිතකර ව්‍යුහයන් සහ අවකාශයන් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් නවසීලන්තය තුළ පැවතීම සහ එරට කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම මගින් ශ්‍රී ලංකාව තුළ එම යහ භාවිතයන් ස්ථාපිත කිරීමට මෙරට මන්ත්‍රීවරියන්ට හැකිවනු ඇති බවද වෝල්ටර්ස් මහත්මිය සදහන් කළාය.

    නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් අදහස් පළ කළ අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහය මව්රටට අවශ්‍ය බැවින් ඒ සදහා කිසියම් හෝ දායකත්වයක් සපයන ලෙසයි. මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි  රෝහිණි විජේරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව තුළ
    ආයෝජනයන් කිරීමට දායක වන ලෙසයි.

    සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ , සීතා අරඹේපොල, රෝහිණි කුමාරි විජේරත්න, (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, (නීතිඥ) තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, (ආචාර්ය) හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya