මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ කිසිදු රටක බාල බෙහෙත් ලෙස කිසිවක් නිෂ්පාදනය නොකෙරේ-එවැනි බෙහෙත් ලංකාවට ගෙන එන්නේ නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්-

    අගෝස්තු 02, 2023

    බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත්, මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන එන බවත්, බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    බාල ඖෂධ භාවිතයට කිසිවෙකු කැමති නොවන බවත්, තත්ත්වයෙන් උසස් ඖෂධ පමණක් භාවිතයට ජනතාව කැමති බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් අවස්ථාවන්හිදී මෙරටට ගෙන එන සමහර ඖෂධවල තත්ත්වය අසමත් වීමේ හැකියාවක් පවතින බවත් පැවසීය.

    එසේම ඇතැම් පිරිස් සිදුකරන ප්‍රචාර නිසා ජනතාව කිසියම් අනිසි බියකට පත්වුවත් දෛනිකව රෝගීන් ලක්ෂ ගණනකට ඖෂධ ලබාදෙන බවත්, දෛනිකව දහස් ගණනකට ශල්‍යකර්ම සිදු කරන බවත්, දෛනිකව ලක්ෂ ගණනින් සුවපත් වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.මෙරටට ගෙන එන සියලුම ඖෂධවල තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම නිසාවෙන් තත්වයෙන් අසමත් ඖෂධ හඳුනා ගැනීමට ද එමගින් හැකිවන බවද ඒ මහතා පැවසීය.

    කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාව පැමිණෙන ලෙසටත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවටත් ඒ මහතා අවධාරණය කළේය.

    සෑම විටම සත්‍ය දෑ ප්‍රකාශ කරන ලෙසත් අඩුපාඩුවක් ඇත්නම් ඒ පෙන්වා දෙන ලෙසත් කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් නොකරන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ඉල්ලා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  (31) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව කීය.

    මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , අතිරේක ලේකම් ( ප්‍රසම්පාදන) වයි.එල්.එම්. නවාවි, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

    නිවැරදි නොවන ඇතැම් අදහස් ප්‍රකාශ කිරීම සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ සේවාව සහ කාර්ය මණ්ඩලවලට සිදු කරන අගෞරවයක් බවත් මෙරට ජනතාව විශාල සේවාවක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා බවත් පැවැසීය.

    අතිරේක ලේකම් ( ප්‍රසම්පාදන) වයි.එල්.එම්.නවාවි මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

    අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරණය වුණු බවත්,එලෙස අක්ෂිකාච ලක්ෂයක් මිලදී ගෙන නොමැති බවත්, අක්ෂි කාච දෙවර්ගයක් මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රමවේද දියත් කළ අතර එක් වර්ගයකින් අක්ෂිකාච 10000 ක් ද අනෙක් වර්ගයෙන් අක්ෂිකාච 8000 ද මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති බවත් පැවසීය.

    මෙම ටෙන්ඩර් පිළිබඳව අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව අවසන් තීරණය ගන්නා බවත් දැනට මේ සඳහා ලංසු කැඳවා තාක්ෂණික ඇගයීම් කමිටු මට්ටමේ පවතින බවත් අගෝස්තු මස 4 වැනි දා කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී මෙම ටෙන්ඩර් ලබාදෙන්නේ කාටද යන තීරණය කරන බවත් පැවසීය.මේ සඳහා ආයතන දෙකකින් මිල ගණන් ඉදිරිපත් කර ඇති බවද එම මිල ගණන් තාක්ෂණික ඇගයීම් කමිටු වෙත ඉදිරිපත් කළ බවද එම කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත බවත් ඒ මහතා පැවසීය.

    කෙනෙකුට ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන බවද එයට ඉදිරිපත් කළ හැකි බව ද පැවසීය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ,

    පසුගිය දෙසැම්බර් මස අග භාගයයේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙක්ගේ වකුගඩු ශල්‍යකර්මයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ බවද එයට හේතු වූයේ එම දරුවාගේ වකුගඩු දෙකෙන් වම්පස වකුගඩුව අක්‍රිය වීමයි. එම වකුගඩුව තුළ වතුර පිරීමත්,විසබීජ ශරීරගත වීමත් නිසා අදාළ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් පසු මෙම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකර ඇති අතර අවශ්‍ය ශල්‍යකර්මය සිදු කිරීමට කටයුතු කර ඇත.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මෙම දරුවාට අවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව ශල්‍යකර්මය සිදු කළ බවද එම වෛද්‍යවරයා වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙක් වන බවද පැවසීය.

    ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේදීත් මෙම දරුවාගේ වම්පස වකුගඩුව ඉතාමත් විශාල වී අක්‍රමවත් තත්ත්වයට පත්ව ඇති බව නිරීක්ෂණය කළ වෛද්‍යවරයා ශල්‍යාගාරයට වෙනම ස්කෑන් යන්ත්‍රයක් ගෙන්වා එම අවස්ථාවේදී ද නැවත ස්කෑන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය. මේ පිළිබඳව ඔහුගේ ජේෂ්ඨ වෛද්‍යවරයාද දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන ඇති බවද පැවසීය.

    දරුවාගේ නරක් වූ වකුගඩුව සමග දකුණු පස වකුගඩුව එකට ඇලී තිබීමක් සිදු වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට වෙනම විශේෂ පරික්ෂාවක් සිදු කිරීමට හැකියාවක් නොතිබුණු බවද කීය. මෙම ශල්‍ය කර්මයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් පරිදි රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකර ඇති බවද අවධාරණය කෙළේය. මෙම දරුවාට වකුගඩුවක් බද්ධ කිරීමට සිටින අවස්ථාවේ විෂබීජ ශරීරගත වීම තුළ මෙම දරුවා පසුගිය දින මිය ගිය බවද හෙතෙම පැවසීය.

    මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම සිටින යම් යම් පිරිස් විසින් ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත්, මේ දරුවාගේ ශල්‍යකර්මය කිරීමට පෙර අවශ්‍ය පරීක්ෂාවන් සිදු කර නොමැති බවටත්, එයට අදාළ උපකරණ නොතිබුණ බවටත් එල්ල කරන චෝදනා සත්‍යයෙන් තොර බවත්, සිය දරුවාට අවශ්‍ය සියලුම පරීක්ෂණ සිදුකළ බවට දරුවාගේ දෙමව්පියන් පිළිගන්නා බවත් අවධාරණය කළ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අසත්‍ය ප්‍රචාරය කිරීමෙන් රටේ ජනතාව නොමග යැවීමක් සිදු කරන බවත් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව මෙම රෝහලට පැමිණෙන බවත්, දිනකට ශල්‍යකර්ම පනහකට අධික ප්‍රමාණයක් මෙම රෝහලේදී සිදු කරන බවත් හෙතෙම කීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන් විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම මෙරට ජනතාවගේ විශ්වාසය බිඳී ජනතාව රෝහල් වෙත පැමිණීමට මැලිකමක් දක්වන බවත්,දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට සිදු නොකර ගැනීමෙන් දරුවන් විවිධ සංකූලතා වලට ලක්වීමට ඉඩ ඇති බවත් පැවසීය.

    රෝහල තුළ කිසිදු උපකරණ හිඟයක් නොමැති බවත්, ශල්‍ය කර්ම සඳහාද අවශ්‍ය සියලු උපකරණ පවතින බවත්, ඔබේ දරුවාට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වන්නේ නම් රෝහල වෙත ගෙන එන ලෙසත් මෙහිදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කළේය.

     

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා,

    බාල බෙහෙත් කියා නිර්වචනය මොන ආකාරයෙන් ඉදිරිපත් වෙනවාද කියන එක නිශ්චිතව පැහැදිලි නොවන බවත් සාමාන්‍යයෙන් ඖෂධ සම්බන්ධයෙන් ගත් කල මෙම නිර්වචනයට ගැනෙනවනම් ලෝකය කතාබහට ලක්වන ෆේක් ඩ්‍රග්ස් (Fake Drugs) එසේත් නැතිනම් ඖෂධ වශයෙන් හුවා දක්වන ඖෂධ ( counter fied drugs) මෙම ගණයට අයත් වන බවත් පැවසීය.

    නමුත් මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ එවැනි ඖෂධ ලංකාවට පැමිණීමට ඉඩ කඩ නොමැති බවද පිළිගත් ප්‍රසම්පාදන වැඩපිළිවෙළක්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සමූහයක් තිබෙන අතර ඒවා අනුගමනය කරමින් මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කරන බව ද අවධාරණය කළේය.

    ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ප්‍රධාන සාධකය වශයෙන් ගන්නා අතර ඖෂධ නියාමන අධිකාරීයෙන් ලබාදෙන නිසි අවසරයකින් පමණක්ම රටට ඖෂධ ආනයනය කිරීමේ හැකියාව පවතින බවද කීය. මේ සියලු ඖෂධ ශ්‍රී ලංකා රේගුව හරහා රට තුළට ගෙනෙන බවත් , එහිදී සියලු සහතික පරීක්ෂාවට ලක්වන බවත් පැවසීය. එසේ නොමැතිනම් මෙරටට ඖෂධ ගෙන ඒමේ හැකියාවක් නොමැති බවද කීය. මෙම ඖෂධ නැවත නැවතත් පරීක්ෂාවට ලක් වන ක්‍රමවේදයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වශයෙනුත් එම රසායනාගාරයේ දී හා ඖෂධ නියාමන අධිකාරිය සතු රසායනාගාරය දීත් තිබෙන අතර, පැමිණිලි ලැබුණහොත් එම පැමිණිලි මත ද පරීක්ෂාවට ලක්වන බවද පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද මෙහිදී අදහස් දැක්වීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya