මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කරයි

    ජූලි 27, 2023

    ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

    සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළේය.

    කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙම අදහස් පළ කර සිටියේ සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පැහැදිළි කළ අමාත්‍යවරයා සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයෙන් ජාති බේදයකින් තොරව සියලු ජනතාවට විශාල පීඩනයකට මුහුණදිමට සිදු වු බවයි. ඒ පිළිබඳ නිසි විමර්ෂනයක අවශ්‍යතාව රට තුළින් මෙන්ම ජාත්‍යන්තරවද මතු වූ බවත්, ඒ වෙනුවෙන් ස්ථාපිත කරන ලද විවිධ කොමිසන් සභා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොවූ බවට ද චෝදනා එල්ල වූ බවත් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

    මේ පිළිබඳ නිසි අවධානය යොමු කෙරෙන, රටට ගැළපෙන යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක යාන්ත්‍රණයන් පිළිබඳ අධ්‍යයනය කරන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් මෙය සාර්ථක කර ගත නොහැකි වුවහොත් නැවත රට අසීරු තත්ත්වයකට පත් වනු ඇති බැවින් සමාජය දැනුවත් කරමින් එය ක්‍රියාත්මක කිරීමට සහාය ලබා ගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
    ජාතීන් තුනක් වෙසෙන සිංගප්පූරුව නිදහස ලබා වසර 20ක් ගත වෙද්දී සංවර්ධිත රටක් බවට පත් වූයේ සංහිඳියාව තුළින් බව සත්‍ය හා සංහිඳියා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අසංග ගුනවංස මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
    ශ්‍රී ලංකාවට සංවර්ධන අරමුණු ජය ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සංහිඳියාව අත්‍යවශ්‍ය බවත් මෙම කොමිසම ස්ථාපිත කිරීම තුළින් සංහිඳියා අරමුණු ඉටුකර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    දේශීය වශයෙන් සාර්ථක මෙන්ම ජාත්‍යන්තරය පිළිගත් යාන්ත්‍රණයක් සැකසීමට දායකත්වය ලබා දීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා අන්තර්කාලීන ලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් එය නීති සහ ප්‍රතිපත්ති අංශය, මහජන සම්බන්ධතා අංශය සහ තොරතුරු තාක්ෂණ අංශය යන අංශ තුනකින් සමන්විත වන බවත් අසංග ගුනවංස මහතා සඳහන් කළේය.
    පසුගිය මැතිවරණයේදී ආගම්වාදය හා ජාතිවාදය විශාල ලෙස මතු කළ බැවින් ජනතාවට එම අත්දැකීම අමතක වීමට පෙර මෙම ක්‍රියාවලිය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බව මෙහිදී අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ පැවසූහ.
    වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya