මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    (BIMSTEC) විද්වත් මණ්ඩලයේ පළමු සැසිය සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

    ජූලි 27, 2023

    බහු - ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) විද්වත් මණ්ඩලයේ පළමු සැසිය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී (24) දින ආරම්භ විය.

    “බිම්ස්ටෙක්” සමුළුව බංග්ලාදේශය, භූතානය ,ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන අග්නිදිග ආසියානු රටවල් හතකින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීමයි.

    2021 වසරේ අප්‍රේල් 01 වැනි දා ශ්‍රී ලංකාවේ කොළඹ පැවති 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල සමුළුවේදී හා 2023 මාර්තු 09 වන දා තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 19 වැනි අමාත්‍ය මණ්ඩල සමුළුවේදී, මහජන සෞඛ්‍ය පිළිබඳ විෂය පථය විමර්ශනය කිරීම සඳහා පර්යේෂණ සහ සැලැසුම් කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍යවරු එකඟ වූහ. එහිදී මෙම අංශයේ කලාපීය ධාරිතාව ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ හැකියාව පිළිබද විමසන ලදී.

    ඒ අනුව අද දින ආරම්භ වූ විද්වත් සමුළුව මෙම මස 27 වන දින දක්වා පැවැත්වෙන අතර මේ සඳහා බංග්ලාදේශය , ඉන්දියාව, භූතානය, නේපාලය, මියන්මාරය හා තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයින්,සංවර්ධන හවුල්කරුවන් හා එම රටවල නියෝජිතයින් සහභාගී වේ.

    මෙහිදී කලාපය තුළ වසංගත සඳහා සූදානම හා ප්‍රතිචාර දැක්වීමේ කලාපීය යාන්ත්‍රණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම, කලාපීය සෞඛ්‍ය ආරක්ෂාව වැඩිදියුණු කිරීම හා කලාපයේ මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ ඉලක්ක කිහිපයක් සපුරා ගැනීම පිළිබඳ හවුල්කාර ආයතන සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමක් සිදු කෙරෙන අතර එහිදී ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳවද කතිකාවක නියැලේ.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    “පසුගිය දශක කිහිපය පුරාවටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළු ලෝකයේම සෞඛ්‍ය සේවාව හා සසඳනවිට ඉතා ඉහළ මට්ටමක පවතිනවා. නිවාරණය හා ප්‍රවර්ධනය පාදක කරගනිමින් හොඳ සංවර්ධිත මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් රට තුළ ඇති අතර එමගින් මාතෘ හා ළමා සෞඛ්‍ය ,බෝ වන රෝග වන මැලේරියා, පෝලියෝ තුරන් කිරීම ආදිය සාක්ෂාත් කරගෙන තිබීම එයට සාක්ෂි දරනවා..

    කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග මෑතකාලීනව ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙම සියලු අවස්ථාවන්වලදී සෞඛ්‍ය සේවකයින්ගේ කැපවීම මෙම සියලු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමුඛව ඉවහල් වී තිබෙනවා.

    මෙවර මෙම සම්මන්ත්‍රණයේ තේමාව කාලීන හා අත්‍යවශ්‍ය තීරණාත්මක තේමාවකි. එනම් වසංගත වැලැක්වීම සූදානම හා ප්‍රතිචාරය සඳහා වූ එක් සෞඛ්‍ය ප්‍රවේශයක් වැඩි දියුණු කිරීමයි. බිම්ස්ටෙක් සමුළුවේ අනිවාර්ය අංගයක් වන්නේ දකුණු ආසියානු කලාපයේ නැගී එන හා නැවත මතු වෙමින් පවතින බෝ වන රෝග හා වසංගත රෝග සඳහා වන ප්‍රවේශයයි. වසංගත සඳහා සූදානම මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපායමාර්ගික අත්දැකීමක් සහිත වන්නක් වන අතර කලාපයේ සෞඛ්‍ය අංශ තුළ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන වසංගත තත්ත්ව සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වන කලාපීය ක්‍රියාකාරකම් වල ප්‍රමුඛත්වය ගැනීමට ද අපට හැකියාව තිබෙනවා.”

    මෙම සමුළුව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ලෝක බැංකුවේ මෙරට කළමණාකාර චියෝ කැන්ඩා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya