මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගතයේ දී දුම්රිය සේවය සංවර්ධිත සේවාවක් බවට පත් කළ යුතුයි - ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 25, 2023

    දුම්රිය දෙපාර්තමේන්තුව ව්‍යුහාත්මක, ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් දැවැන්ත වෙනසක් ඇති විය යුතු බවත්, අනාගතයේ දී දුම්රිය සේවය වඩාත්ම ප්‍රයෝජනවත් වාසි දායක සහ සහනදායි මෙන්ම සංවර්ධිත සේවාවක් බවට පත් කළ යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කරමින් පැවැසුයේ, මේ කල්පවතින ආකාරයේ විසඳුමක් සොයා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බ්න්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය සම්බන්ධයෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බවට ද සඳහන් කරමිනි.

     

    එමෙන්ම, සුළු ගැටළුවක් මුල් කරගෙන දහස් ගණන් ජනතාව අපහසුතාවයට පත් කරමින් හිටිහැටියේ දුම්රිය වර්ජන සිදු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ මිට පෙර පැවති තත්ත්වය බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව භාවිතා කරන ප්‍රධාන පොදු ප්‍රවාහන මාධ්‍ය වන දුම්රිය ජනතාව අපහසුතාවයට පත්කරමින් මෙලෙස නිරන්තර වර්ජන සිදු කිරීම විශාල ගැටලුවක් පීඩනයක් බැවින් දුම්රිය පෞද්ගලිකරණය කළ යුතුය යන මතය ජනතාවගේ ම මතයක් ලෙස පැන නැඟී තිබුණු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව, තමන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සියලුම දුම්රිය සමිති සමඟ සාකච්ඡා කර පොදු ප්‍රවාහනය කඩාකප්පල්කාරී නොක‍ර එන ඕනෑම ගැටළුවක් ආයතන මට්ටමින්, අමාත්‍යංශ මට්ටමින් හෝ ආණ්ඩුව වශයෙන් හෝ සාකච්ඡා මාර්ගයෙන් පොදු සම්මුතියකට පැමිණ විසඳා ගැනීමට කටයුතු කළ හැකි බව ට උපදෙස් ලබා දී තිබුණෙන් ඉතා හොඳ සේවාවක් පසුගිය වසර වල පවත්වාගැනීමට හැකි වූ බවත්, එම කාලය තුළ දී යම් යම් දුම්රිය ප්‍රතිසංස්කරණ ඇති කරවීමට හැකි වූ බවත් හෙතෙම පැවසීය.

     

    එමෙන්ම, එළඹෙන මාසයේ දී නව සංචාරක දුම්රියක් යාපනය දක්වා ධාවනයට එක් කිරීමටත් කටයුතු කරවීමට ද, නැවත 2024 ජනවාරි මස සිට අනුරාධපුර සිට මහව දක්වා වන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට ද තිබෙන අතරතුර මෙලෙස හදිසියේ කිසිඳු දැනුම්දීමකින් තොරව සියලු දෙනා අසනීප නිවාඩු ලබා ගැනීම සිදු කිරීම මඟින් දුම්රිය වාර ගණන් 25 ක් අවලංගු කිරීමටත්, දුම්රිය සේවාවන් 08 ක් සම්පුර්ණයෙන් අවලංගු කිරීමටත්, මඟීන්ට ඔවුන්ගේ අතේ තිබෙන මුදල් වැඩි වශයෙන් වියදම් කරමින් වෙනත් ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට සිදු වීම තුළින් මඟී ජනතාව අසරණ තත්ත්වයට පත් කිරීමත් මඟින් පෙර පැවති වැරදි ක්‍රියා පිළිවෙත එලෙසම ක්‍රියාත්මක කිරීමක් ලෙස තමන් දකින බව හෙතෙම පැවසීය.

     

    මීට ප්‍රධාන හේතුව වන්නේ තමන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති වල නායකයින් යැයි පවසන පුද්ගලයින් විසින් කරනු ලැබූ වංචා, සොරකම්, දූෂණ අක්‍රමිකතා පිළිබඳව ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

     

    යකඩ, දුම්රිය පීලි, සොරකම් කිරීම, විදේශ කොන්ත්‍රාත් ලබා ගැනීම, කොන්ත්‍රාත්කරුවන්ගෙන අයතා ලෙස චෙක් පත් ලබා ගැනීම යනාදිය පිලිබඳ ජාතික මට්ටමේ අපරාධ පරීක්ෂණයක් මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්, ඒ අනුව විශාල අපරාධ ප්‍රමාණයක් කර ඇති බවට හෙළිදරව් වී ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළ අතර එවැනි දූෂණ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින්ට මඟීන් අපහසුතාවයට පත්නොවන ආකාරයේ මඟී සේවාවක් දුම්රියෙන් සිදු වීම නොඉවසන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හෙතෙම පැවසීය.

     

    ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධව සිදු වන හා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන සියලුම පුද්ගලයින්ගේ වත්කම් ඉපයීම් ද ඇතුළුව අඛණ්ඩ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු එකී සියල්ල පාර්ලිමේන්තුවේ දී රටට හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya