මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියේ ගිලීම් හෙතුවෙන් දිනකට රටේ තුන්දෙනෙකුගේ දිවි අහිමි වෙනවා - විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

    ජූලි 24, 2023

    දියේ ගිලීම් හේතුවෙන් ලංකාවේ දිනකට ජීවිත තුනක් අහිමි වන බවද සෑම පැය 08කට සැරයක්ම මෙරට කොහේ හෝ තැනක කාගේ හෝ ජීවිතයක් දියේ ගිලීම් හේතුවෙන් අහිමි වන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, හෙටට (ජූලි 25) යෙදෙන ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනයට සමගාමීව ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මෙරටින් වාර්තා වන අනතුරු වලින් 10%ක් එනම් 1000 – 1200ක් පමණ දියේ ගිලීම් හේතුවෙන් වාර්තා වන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ලෝකයේ ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් දියේ ගිලීම් නිසා මියයන බවද ඉන් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලින් දියේ ගිලීම් හේතුවෙන් වැඩි වශයෙන් ජීවිත අහිමිවීම් වාර්තා වන බවද සඳහන් කළේය.

    ලෝකයේ අවුරුදු 01ත් 04ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර වැඩි වශයෙන් මෙම දියේ ගිලීම් හේතුවෙන් දිවි අහිමි වන බවද, දෙවනුවට අවුරුදු 05ත් 09ත් අතර වයස් කාණ්ඩය මෙම ගැටලුවට මුහුණපාන බවද ඔහු පැවසුවේය.

    සමස්ථ ලෝකයම ගත්කළ දරුවන් අතර එනම් අවුරුදු 01ත් 10ත් අතර වයස් කාණ්ඩයේ මරණ වලට ප්‍රධානතම හේතුව වශයෙන් දියේ ගිලීම් හඳුනාගෙන ඇතැයිද කියාසිටි අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ලංකාවේ සමස්ථ අනතුරු වලින් වසරකට 10,000ක් 12,000ක් මියයන බවද එයින් 10% - 12%ක් දියේ ගිලීම් හේතුවෙන් මියයන බවද පැවසුවේය.

    ලෝකයේ වැඩි වශයෙන් දියේ ගිලීම් නිසා මරණයට පත්වන්නේ අවුරුදු 01ත් 04ත් අතර කාණ්ඩයේ පිරිස වුවද ලංකාවේ ප්‍රවණතාවය නම් මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ අවුරුදු 20 න් පසු සිටින තරුණ සහ වැඩිහිටි කණ්ඩායම බවද වෛද්‍ය සමිත සිරිතුංග මහතා අවධාරණය කළේය.මේ අනූව මෙමගින් ලංකාවේ ආර්ථිකයට වැඩි වශයෙන් දායකත්වය ලබාදෙන කණ්ඩායම අහිමි වීම විශාල ගැටලුවක් බවද ඔහු සිහිපත් කළේය.

    දියේ ගිලීම් හේතුවෙන් මරණ පමණක් නොව මොලයට ඔක්සිජන් අහිමි වීම හේතුවෙන් ගැටලු ඇතිවිය හැකි බවද කියිසිටි විශේෂඥ වෛද්‍යවරයා මරණ පමණක් නොව ඇතැම්විට දීර්ඝකාලීන ආබාධ වලට ලක්වීම් එනම් මානසික ආබාධ, ක්‍රියාකාරීත්වයේ ගැටලු වැනි බොහෝ ගැටලු මේ ආශ්‍රිතව හටගන්නා බවද පැවසුවේය.

    බොහෝ පුද්ගලයන්ගේ නොසැලකිල්ල සහ ජල මූලාශ්‍ර පරිහරණය සම්බන්ධ නොදැනුවත්භාවය දියේ ගිලීම් සදහා හේතුවන බවද මෙය වළක්වාගත හැකි තත්ත්වයක් බවද සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා මෙම තත්ත්වය හදුනාගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව මීට වසර 03කට පෙර සෑම වසරකම ජූලි 25 වනදා ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයිද අවධාරණය කළේය.

    මෙහි අරමුණ වනුයේ කිසිම කෙනෙකු දියේ ගිලීම හේතුවෙන් මියයාමට හෝ අනතුරකට පත්වීම නුසුදුසු යැයි සැලකීම බවද එනම් දියේ ගිලීම් හේතුවෙන් කිසිවෙකු අනතුරකට හෝ මරණයට පත්වීම සිදුනොවිය යුතු බව සලකමින් වසර තුනකට පෙර ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya