මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් පෙරේරා පත් කෙරේ

    ජූලි 24, 2023

    ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පත් කෙරිණි

    ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා (Michael Appleton) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, වේලු කුමාර් සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය ලේකම් ලෙස පත් කරන ලද අතර, සහකාර ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා සහ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පත් කෙරිණි.

    ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම දෙරට ජනතාව සහ පාර්ලිමේන්තු අතර පවතින සුහද සබඳතාව වර්ධනය කිරීමට ඉවහල් වන බව මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ පශ්චාත් උපාධි සඳහා නවසීලන්තය ශිෂ්‍යත්ව අවස්ථා ලබාදී ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් රැසක් ඉන් ප්‍රතිලාභ ලබා ඇති බවත් කථානායකවරයා මෙහිදී පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ නවසීලන්තයේ ප්‍රථම නේවාසික මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා නව පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුහදත්වය වර්ධනය සදහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වැදගත්කම අවධාරණය කළේය.

    රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා, මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය ස්තූතිය පළ කළ අතර, 2004 දී ඇති වූ සුනාමිය ඇතුළු තීරණාත්මක අවස්ථාවන්හීදි නවසීලන්ත රජය ලබා දුන් සහය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

    මේ අතර, ජුලි 25 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස්වරයාට සහ එරට රජයට ස්තුතිය පළ කරන බව මෙහිදී අදහස් දක්වමින් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya