මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් - අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    ජූලි 19, 2023

    රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ආරක්ෂා කිරීමේ ජාතික වගකීම රජය සතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    දුම්රිය පීල්ලක් හෝ පාලමක් ගැලවීම විශාල අනතුරකට මග පාදන කාරණාවක් බවත් එවැනි පුද්ගලයන්ට අපක්ෂපාතීව දඩුවම් ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.

    නව කැලණි පාලමේ සහ කැලණි පාලම් ව්‍යාපෘතිය ඇතුළු අධිවේගී මාර්ගයන්හි සිදු වූ සොරකම් සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව
    ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මුලින් සුළු වශයෙන් ආරම්භ වූ මෙම සොරකම් ක්‍රමානුකූලව වර්ධනය වී ඇති බවයි. විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් පසු සහ විදුලි අර්බුදය නිසා විදුලිය විසන්ධි කර ඇති කාලවලදී මෙම සොරකම් සිදු ව ඇතැයි අනාවරණය වී තිබේ.

    සිදු වූ සොරකම් නිසා , 2021.11.22 දින වැඩ අවසන් කළ ,නව කැලණි පාලම් ව්‍යාපෘතියේ සිදු වී ඇති දළ අලාභය රුපියල් මිලියන 5.09කි. කැලණි පාලම් ව්‍යාපෘතියේ සිදු වී ඇති සම්පූර්ණ දළ අලාභය රුපියල් මිලියන 289.4කි. මෙම නව කැලණි පාලමේ කිසුදු ඇණ ගැලවීමක් සිදු වී නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය. එම ඇණ ගැලවීමට නම් විශේෂිත උපකරණ අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

    කොළඹ කටුනායක මාර්ගයේ මෙම සොරකම් මීට වසර 02ක පමණ සිට සිදු කරගෙන එනවා. මුලින් සුළුවෙන් ආරම්භ වූ මෙම සොරකම් පසුව, තඹ කම්බි කැපීම දක්වා වර්ධනය වී තිබෙනවා. අධිවේගී මාර්ගය පටන් ගත්නා ස්ථානයේ ඇති ආරක්ෂක වැටේ තිබෙන කොටස් ,අධිවේගී මාර්ගයට සතුන් සහ අනවසර පුද්ගලයන් ඒම වැළැක්වීමට තිබෙන රක්ෂිත සීමාවේ කොටස්, දිසා පුවරු සහ කිලෝමීටර දක්වන පුවරු , මධ්‍යම කොටසේ විදුලි පහන් වලට විදුලිය ගෙන යන තඹ රැහැන් මෙලෙස සොරකම් කර තිබෙනවා.

    තඹ කම්බි සොරකම් කිරිම නිසා පමණක් මිලියන 286 ක පාඩුවක් සිදු වී තිබෙනවා. දිසා පුවරු සොරකම් කිරීම නිසා මිලියන 1.5ක පාඩුවක්. ආරක්ෂක පුවරු සොරකම් කිරීම නිසා මිලියන 2.9 ක් ,ශබ්ද භාෂක පුවරු සොරකම් කිරීමෙන් මිලියන 3ක් සහ විදුලි කනු ගැලවීම නිසා මිලියන 1 බැගින් පාඩු සිදු වී තිබෙනවා. ඒ අනුව සිදු වී ඇති මුළු පාඩුව රුපියල් මිලියන 289.4 යි.

    මීට අමතරව නව කැලණි පාලමේ , ආරක්ෂක වැටේ ඇති මිලියන 4.4 වටිනා ජී.අයි බට ,වැසි ජලය ගෙන යන අධික ගනකමෙන් යුතු පීවීසී බට, තොරතුරු පරිගණක පද්ධතියේ ආරක්ෂාවට තිබූ මිලියන 0.5ක් වටිනා වායු සමීකරණයේ කොටස් සහ නව කැලණි පාලමේ දර්ශනීය රටා මවන රුපියල් මිලියන 1ක් වටිනා විදුලි පහන් සොරකම් කර තිබෙනවා. නව කැලණි පාලමේ සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 5.09ක්.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අධි වේගී මාර්ගයේ සිදු වී ඇති සොරකම් සම්බන්ධයෙන් අවශ්‍ය පැමිණිලි සිදු කර ඇති බවයි. පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර මෙම විනාශ වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පොලිස් මුර සංචාර වැඩි කිරීම, අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීම, වැනි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී තිබේ.

    ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා බවත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.

    අනුරාධපුර දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ රේල් පීලි ගැලවීම් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන්ද අදාළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya