මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වීරසුමන වීරසිංහ පත් කෙරේ

    ජූලි 08, 2023

    ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා පත් කෙරිණි.

    ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (H. E (Ms) Ho Thi Thanh Truc) මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක ගොඩහේවා, එම්. උදයකුමාර් සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් විය. මොහොමඩ් මුසම්මිල් මහතා ලේකම්වරයා ලෙස පත් කරන ලද අතර, භාණ්ඩාගාරික ලෙස කරුණාදාස කොඩිතුවක්කු මහතා පත් කෙරිණි.

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඓතිහාසික සබඳතා බුදුදහම තුළින් ශක්තිමත් වූ බව සහ යටත් විජිත සමයේ පැවති වියට්නාම අරගලයේදී ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගීතාවයෙන් ඒ බව මනාව පිළිබිඹු වන බවත් රැස්වීම අමතමින් කථානායකවරයා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වන බවද කථානායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපනය කිරීම තුළින් දෙරට අතර පැවති සුහදතාවය, සාම්ප්‍රදායික සබඳතා සහ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලබා දෙන ප්‍රබල සහය සහ මඟපෙන්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය ගරු කථානායකතුමා වෙත සිය කෘතඥතාව පළ කළාය.

    සහයෝගීතාවයේ සක්‍රීය පාලමක් ලෙස මිත්‍රත්ව සංගමය ක්‍රියා කරන බවත්, වෙළෙඳ, ආයෝජන, සංස්කෘතික හා සංචාරක වැනි ක්ෂේත්‍රවල දෙරට අතර සබඳතාවන් ප්‍රවර්ධනය කිරීමට මෙමගින් හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ වියට්නාමය තාක්‍ෂණික දියුණුව, කාර්මික සංවර්ධනය සහ අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ප්‍රවර්ධනය කළ රටක් බැවින් වියට්නාමය සමග මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර අදාළ ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සබඳතාවන් ඇති කර ගැනීමට මූලික පදනමක් ලැබෙන බවයි.

    රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. තවද වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya