මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතෙන් සිදුකර නැහැ - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

    ජූලි 06, 2023

    වසර දහස් ගණනක් පැරණි අප රටේ උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් මෙම ආයුර්වේද පනත් කෙටුම්පතෙන් සිදුකර නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත දැනට වර්ෂ 62කට පෙර ඉදිරිපත් වුණ පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බවද මෙය දීර්ඝ කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සහ දේශීය සමස්ථ වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයට ලක්වෙමින් අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුකළ බවද පැවසුවේය.

    මෙය කඩිනමින් සිදුකළ සංශෝධනයක් නොවන බවද දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය.

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් අතර වෙනසක් පවතින නමුදු ඒවා ඒකාබද්ධ වෙමින් මෙරට ජනතාව සුවපත් කිරීමටත් එම වෛද්‍ය ක්‍රම දියුණු වීමටත් හේතුවී ඇතැයි කියාසිටි රාජ්‍ය අමාත්‍යවරයා වසර දහස් ගණනක් පැවති පාරම්පරික වෛද්‍ය ක්‍රමය සෑම විටම අගය කරන බවද ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත් වලින් පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානියක් වන බවට තර්කානුකූලව යම් වගන්තියකින් ඔප්පු කරයි නම් එම ඕනෑම වැරැද්දක් නිවැරදි කිරීමට කමිටු අවස්ථාවේ තවමත් ඉඩකඩ ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.

    මෙහි පළමු සංශෝධනයෙන් ආයුර්වේද කොමසාරිස්වරයා වෙනුවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස නාමය වෙනස් වන බවද දෙවන සංශෝධනය ලෙස බොරැල්ලේ ආයුර්වේද මධ්‍යම රෝහල ආයුර්වේද ජාතික රෝහල වශයෙන් නාමිකව වෙනස් වන බවද පැවසුවේය.

    යම් යම් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සඳහා ඉඩකඩ පැවතියද ඖෂධ වගාකිරීම සම්බන්ධයෙන් නෛතික වශයෙන් ගැටලු රාශියක් පවතින බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා බොහෝ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය වගා කිරීමට අවශ්‍ය බලය මෙම පනත් කෙටුම්පතෙන් හිමිවන බවද සඳහන් කළේය.

    ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයන් යටතේ ලියාපදිංචියට අවස්ථා හිමිවන අතරම විශේෂඥ වෛද්‍යවරුන්ටද වෙනම ශ්‍රේණියක් යටතේ ලියාපදිංචියට මෙමගින් ඉඩකඩ විවිර වෙනබව පැවසුවේය.

    එමෙන්ම ලෝකයත් ජාත්‍යන්තරයත් අද ඉල්ලන සම්බාහක සම්බාහිකාවන් වෘත්තිකයන් වශයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර මෙම කෙටුම්පත මගින් හිමිවන බවද සඳහන් කළේය. මෙය ජාත්‍යන්තර වශයෙන් අද ලෝකයේ ඇතිවී ඇති අවස්ථාවන් අප රටේ වෘත්තිකයන්ට ලබාදීම සඳහා වූ ඉතා විශාල වරප්‍රසාදයක් බවද අවධාරණය කළේය.

    1961 කාල පරිච්ඡේදය වන විට අපට තිබුණේ බොරැල්ල ආයුර්වේද විද්‍යාලය පමණක් බව සිහිපත් කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයා ඉන්පසුව රජය පිළිගත් විද්‍යායතන රාශියක් සෑදුණු බවද පැවසුවේය. එවැනි ආයතන වලය වෛද්‍ය සභාවට නිල වශයෙන් ඇතුලත් වීමේ ඉඩකඩ ලබාදිය යුතු බවද කියා සිටියේය.

    පනතේ ඇති රෙගුලාසි කඩකරන්නන්ට පමුණුවන වගකීම් සංශෝධන කෙටුම්පත මගින් වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇතැයිද සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා, පාරම්පරික වෛද්‍ය හීන්නිලමේ වෙද මහතා, ආයුර්වේද වෛද්‍ය එස් කේ පී තරංග මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya