මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නෑ- අධිකරණ අමාත්‍ය

    ජූනි 04, 2023

    විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවත් සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණක් බවත් මාධ්‍ය ආයතනවලට ඒ සදහා අදහස් හා යෝජනා ලබා දිය හැකි බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ (02) එම අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා;

    අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධ විමර්ශනය කිරීම සදහා අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය 2016 වසරේදී ආරම්භ කළා. එම කාර්යාලය විසින් කරනු ලබන විමර්ශන අනුව යුද්ධය හේතුවෙන් මිය ගිය හා අතුරුදහන් වු තැනැත්තන් වෙනුවෙන් සහතික නිකුත් කරනවා. හානියට පත් දේපළ වෙනුවෙන් හානි පුර්ණ කාර්යාලය ආරම්භ කළා.

    ජාතීන් අතර සමගිය සංහිදියාව වැඩි දියුණු කිිරීම අරමුණු කර ගනිමින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය ආරම්භ කළා. එම කාර්යාලය යටතේ ගමෙහි සාමය සමගිය ආරක්ෂා කිරීම සදහා ග්‍රාමීය මට්ටමින් සංහිදියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ගම් මට්ටමින් පිහිටුවනු ලබන එම සංහිදියා කමිටු මගින් ගමේ සාමය සමගිය ඇති කරමින් ජාතීන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.

    එම කමිටුවල කටයුතු අධික්ෂණය කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. උතුරු පළාතේ ජනතාවට ලේඛණ සම්බන්ධව පවතින නීතිමය ගැටළු විසදීම සදහා එම පළාත තුළ ජංගම සේවාව හතරක් අපි පසුගිය කාලය තුළ පැවැත්වුවා.


    ඒ තුළින් එම පළාතේ ජනතාවට පවතින ගැටළුවලින් සීයයට අනුවක් සදහා විසදුම් ලබා දුන්නා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයෙන් පසුව වසර 35 කට පසුව අපි පසුගිය සතියේ නැගෙනහිර පළාතේ ජනතාව සදහා විශේෂ ජංගම සේවයක් පැවැත්වුවා. ඒ තුළින් දහසකට පමණ ජනතාවක් සදහා පවතින ගැටළු වෙනුවෙන් විසදුම් ලබා දුන්නා.


    ඇතැම් පුද්ගලයින් සදහා වසර ගණන් පැවති ඉඩම් ගැටළුවලට විසදුම් ලබා දුන්නා. 2016 වසරේ අතුරුදහන් වු පුද්ලගයින් සම්බන්ධ කාර්යාලය ආරම්භ කරනු ලැබුවත් එහි ප්‍රගතිය පිළිබදව සෑහිමකට පත් වීමට හැකි වුණේ නැහැ. ඒ නිසා එහි කටයුතු විධිමත් ලෙස කාර්යක්ෂම කර තිබෙනවා. මේ වන විට එම කාර්යාලය සදහා අතුරුදහන් වු බවට වන පැමිණි 21374 ක් ලැබී තිබෙනවා.

    ඉන් පැමිණිලි 6386 ක් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිළිබදව වන අතර සෙසු පැමිණිලි 14988 ක් ලැබී තිබෙනවා. 2020 වසරේ පැමිණිලි 184 ක් , 2021 වසරේ පැමිණිලි 95 ක් 2022 වසරේ පැමිණිලි 2110 ක් හා 2023 වසරේ මේ වන විට පැවිණිලි 781 සම්බන්ධව විමර්ශන සිදු කළා. ඒ අනුව මේ වන විට පැමිණිලි 3170 ක් පිළිබදව විමර්ශන අවසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.


    විකාශන නියාමන කොමිෂමක් පිහිටුවීම සදහා රජය සකස් කිරීමට නියමිත විකාශන නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.


    විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නැහැ. එම කොමිසම පිහිටුවීම සම්බන්ධ මුලික කටයුතු සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. දැනට ලබා දී ඇති ගුවන් විදුලි නාලිකා සම්බන්ධ බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතත යටතේයි. රූපවාහිනී බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතෙහි ප්‍රතිපාදන අනුවයි.

    ඒ නිසා මේ බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස මමත්, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා හා වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාත් කටයුතු කරනවා. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා. මේ සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණයි. ඒ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීම සිදු කිරීමට නියමිතයි. මේ යෝජනා සම්බන්ධ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකියි.

    එළඹෙන 07 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ පිළිබදව විශේෂ සංකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා.මේ සකස් කර තිබෙන්නේ කෙටුම්පතක් නොවෙයි යෝජනා මාලාවක් පමණයි මේ සම්බන්ධව යෝජනා ලබාදීමේ හැකියාව මාධ්‍ය ආයතනවලට තිබෙනවා. ඒ නිසා දැන් මේ පිළිබදව සාකච්ඡා කිරීමෙන් තේරුමක් නැහැ. මේ ගැන සියලු මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කර යෝජනා ලබාදීමේ අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව වු කාර්යාලයේ සභාපති නීතිඥ, මහේෂ් කටුලන්ද, එහි විධායක අධ්‍යක්ෂක ජෙගනාදන් තත්පරන් යන මහත්වරුන් මෙහිදි අදහස් දැක් වු අතර, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සදහා එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya