මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිරාජ්‍යවාදීන් මෙරටින් රැගෙන ගිය පුස්තකයන්හී විද්‍යුත් ප්‍රතිමුද්‍රණ මෙරටට ගෙන්වා ගැනීමට පියවර

    මැයි 20, 2023

    අධිරාජ්‍යවාදීන් මෙරටින් රැගෙන ගිය පුස්තකයන්හී විද්‍යුත් ප්‍රතිමුද්‍රණ මෙරටට ගෙන්වාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු ලන්ඩනයේ, යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පාලනාධිකාරිය සමග එම පුස්තකාලයේදී පසුගියදා පැවැත්විණ.

    ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී දේශීය දැනුම් සම්භාරයන්ගෙන් සපිරි පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් විදේශයන්‌ වෙත රැගෙන ගිය අතර එම උරුමයන් විදේශයන්හී පිහිටි පුස්තකාළ සහ කෞතුකාගාර තුළ අදටත් සුරැකිව පවතිනු ලබයි.

    ඒ තුළ අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම හා බැඳුණු පුස්කොළ පොත්ද විශාල සංඛ්‍යාවක් පවතින පවතින අතර ලන්ඩනයේ යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේද දැනට දිවයිනේ වෙනත් පුස්තකාලයකින් සොයා ගත නො හැකි දුර්ලභ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් පවතිනු ලබයි.

    එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය වන බ්‍රිතාන්‍ය පුස්තකාලය ලොව විශාලතම පුස්තකාලය වන අතර ලොව ප්‍රධානම පර්යේෂණ පුස්තකාලයක් ලෙසද පිළිගැනේ. මෙහි තැන්පත් කොට ඇති ග්‍රන්ථ හා ලේඛන ප්‍රමාණය මිලියන 200ක් ඉක්මවන අතර මුද්‍රිත පොත්, අත් පිටපත්, පුවත් පත් හා සඟරා, චිත්‍ර, සිතියම්, සැලසුම් හා මුද්දරද විද්‍යුත් පුස්තකද ඒ එකතුවට ඇතුළත් වෙයි. හියු නෙවිල් එකතුව, ඉන්දියා කාර්යාලයීය එකතුව හා බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුව යන ප්‍රධාන එකතු තුන යටතේ සිංහල හා පාලි අත් පිටපත් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙහි තැන්පත් කොට ඇති අතර එ් අතුරෙන් 118ක් වෛද්‍ය ග්‍රන්ථ වෙයි. එයින් 35ක් පමණ දිවයිනේ අනිකුත් පුස්තකාල වලින් වාර්තා නොවන බව පැවසේ. එමෙන්ම දිවයිනේ අන් කිසිදු පුස්තකාලයකින් හමු නොවන සිංහල හා පාලි ග්‍රන්ථ ද 200ක් පමණ මෙහි ඇති බව හඳුනාගෙන ඇති අතර ඒවා 17 වන සහ 19 වන සියවස් අතර කාලයේ රචනා කරන ලද පුස්තකයන් වනු ලබයි.

    එම සාකච්ඡාවේදී දුර්ලභ පුස්තකයන්හී පිටපත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක් සකස් කිරීමට දීර්ඝව සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය පුස්තකාලයේ දකුණු ආසියා එකතුවේ අධ්‍යක්ෂ ආචාර්ය අරාණි ඉලන්කූබරන් විසින් ශ්‍රී ලංකා එකතුව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කෘති පිළිබඳ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙන අතර බ්‍රිතාන්‍ය පුස්තකාලය ලංකාවේ අත් පිටපත් විධිමත්ව හා ක්‍රමවත්ව සංරක්ෂණය කර තිබීම මෙන්ම ඒවා පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා පහසුවෙන් ලබා ගත හැකි වන පෙළ ගැසීම සම්බන්ධයෙන් එම පුස්තකාලය වෙත රාජ්‍ය අමාත්‍යතුමා සිය ප්‍රසාදය පළ කර තිබේ.

    මේ පිළිබඳව අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී එතුමන් ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර එම දැනුම් සම්භාරයන් නැවත දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම දේශයේ උන්නතිය වෙනුවෙන් දායාද කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

    එම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය පුස්තකාලයේ අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වැලිවිට සෝරත හිමි, නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය, මහාචාර්ය රත්නසිරි අරංගල, වෛද්‍ය මාක් රංජිත් දිසානායක, වෛද්‍ය පාලිත සේරසිංහ, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ලේකම් සමීර දයාසේකර, ප්‍රසන්න මුතුකුමාරණ ප්‍රමුඛ පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya