මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මහර” හරිත සහ සංස්කෘතික නගරයක් ලෙස සංවර්ධනය කෙරේ

    පෙබරවාරි 20, 2023

     නගර සැලැසුම් කෙටුම්පත සදහා ජනතා අදහස් ලබා ගැනීම ඇරඹෙයි...
     2023 - 2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක වේ...

    හරිත සහ සංස්කෘතික නගරයක් ලෙස මහර නගරය සංවර්ධනය කෙරේ. ඉදිරි දස වසර තුළ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. කෙටුම්පත් කරන ලද මහර නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම (15) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

    මෙහිදී මහර නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුධීමා චාන්දනී මහත්මිය වෙත ලබා දුන්නේය. මහර ප්‍රාදේශීය සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දී ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු කෙරේ. ඒ සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහර නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඉන් අනතුරුවයි.

    විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.

    “කොළඹ හර ප්‍රදේශයේ හරිතවන් නාගරික උරුමය” යන්න මහර නගර සංවර්ධන සැලැස්මේ දැක්මයි. ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, ආර්ථික හා සංචාරක සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ග 4 මූලික කර ගනිමින් මහර නගර සැලැස්ම ක්‍රියාවට නැංවේ.


    මහර යනු බස්නාහිර පළාතේ නැගෙනහිර නාගරික බල ප්‍රදේශය වේ. මෙහි නේවාසික භූමි ප්‍රමාණය 48% කි. විශාලත්වය වර්ග කිලෝ මීටර් 98 කි. ග්‍රාම නිළධාරී වසම් ගණන 92 කි. මුළු ජනගහනය දෙලක්ෂ පනස් දහසකට ආසන්නය. කුඩා වැව් සහ ජලාශ 13 ක් මෙහි පිහිටා තිබේ.
    මහර සැලසුම් සීමාව එක පසෙකින් අධි ඝනත්ව නාගරික ලක්ෂණ පෙන්නුම් කරන අතර අනෙත් සීමාව තුළ පාරිසරික සංවේදී සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත අඩු ඝනත්ව නේවාසික පරිසරයක් පිළිඹිබු කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එකම බල ප්‍රදේශයක් තුළ විවිධත්වයකින් යුතු නාගරික උරුමයන් සහ වටිනාකම් මහර බල ප්‍රදේශයේ සුවිශේෂිත්වයට හේතුවේ. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි එකම පුරාවිද්‍යා රක්ෂිතය වන පිළිකුත්තුව රක්ෂිතය, මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරය වන පිළිකුත්තුව විහාරස්ථානය, අක්කර 999 ක භූමි ප්‍රමාණයක කදු පන්ති පහකින් සමන්විත දනව්කන්ද රක්ෂිතය, මාළිගාකන්ද රාජමහ විහාරස්ථානය ඇතුළු පාරිසරික සහ ජාතික උරුමයන් සහිත ඓතිහාසික ස්ථාන රැසක් මෙම බල ප්‍රදේශය තුළ පිහිටා තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන, මහර ප්‍රදේශීය සභාවේ උප සභාපති අජන්ත වික්‍රමාරච්චි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya