මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කටාන” ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ

    පෙබරවාරි 20, 2023

     නගර සැලැසුම් කෙටුම්පත සදහා ජනතා අදහස් ලබා ගැනීම ඇරඹෙයි
     2023 - 2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක වේ...

    කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. ඉදිරි දස වසර තුළ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර තිබේ.

    කෙටුම්පත් කරන ලද කටාන නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම පසුගියදා (17) වැනි සිකුරාදා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

    කටුනායක සීදුව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව යන බල ප්‍රදේශය 2 සදහා කටාන නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත. එය ක්‍රියාත්මක වන්නේ 2023 සිට 2033 දක්වායි. කටුනායක සීදුව බල ප්‍රදේශය ප්‍රවාහන, ගුවන් භාණ්ඩ හා සංචාරක සේවාවන් සපයන ලොව පිළිගත් ගුවන් පුරයක් බවට පත් කිරීම සහ කටාන බල ප්‍රදේශය ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත සුවපහසු නගරයක් බවට පත් කිරීම මෙහි අරමුණයි.

    මෙහිදී කටාන නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් කටුනායක සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත මහතාට සහ කටාන ප්‍රාදේශීය සභවේ සභාපති සිසිර ප්‍රනාන්දු මහතාට වෙත ලබා දුන්නාය.

    මෙම පළාත් පාලන ආයතන දෙකෙහි අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දී ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු කෙරේ. ඒ සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටාන නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

    විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.

    කටාන නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “ගෝලීය ගුවන් පුරය හා බැදි සුවපහසු නාගරික පුරවරය” යන්නයි. ආර්ථික හා සංචාරක සංවර්ධනය, ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ග මූලික කර ගනිමින් කටාන නගර සැලසුම ක්‍රියාවට නැංවේ.

    කටාන නගරය අන්තර් පළාත් සම්බන්ධතා ප්‍රවර්ධන නගරයකි. කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ රාගම - පුත්තලම දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ මෙම නගරය හරහායි. මෙම බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 107 කි. මෙහි නේවාසික භූමි ප්‍රමාණය 55% කි. කෘෂි කාර්මික කටයුතු සදහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය 21% කි. ග්‍රාම නිළධාරී වසම් ගණන 79 කි. මුළු ජනගහනය දෙලක්ෂ පනස් තුන් දහසකට ආසන්නය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වෙළද කලාපය වන වන කටුනායක වෙළද කලාපය, මෙරට පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන කටුනායක ගුවන්තොටුපළ, නිරිතදිග ශ්‍රී ලංකාවේ විශාල මොය කලපුව වන මීගමුව කලපුව, මෙරට විශාලතම නාගරික තෙත්බිම වන මුතුරාජවෙල අභය භූමිය ඇතුළු වටිනා ස්ථාන රැසක් මෙම බල ප්‍රදේශය තුළ පිහිටා තිබේ.

    කටාන ප්‍රදේශීය සභාවේ උප සභාපති චමින්ද රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya