මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්”  බවට පත් කරන බව ජනපති පවසයි

    පෙබරවාරි 19, 2023
     
    • පිරිවෙන් අධ්‍යාපනයේ  ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම
    • 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පැවැත්වීම   ඇතුළු මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඉල්ලීම් කිහිපයකට ජනපතිගේ එකඟතාව
    පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්, එය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත්  කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (19) පැවති සාකච්ඡාවේදී   ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
    පිරිවෙන් අධ්‍යාපනයේ  ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවට කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 
     
    රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඇරයුම ද ජනාධිපතිවරයා පිළිගත්තේය.
    බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ   විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒවාට ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
     
    ඉදිරි වසර එකහමාර තුළ  රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට සහන ලබා දිය හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව ද පැවසීය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා;
    2019 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක්ව පැවැති රජයේ බදු ආදායම සියයට 9 දක්වා අඩුවී තිබුණා . ඒ නිසා මේ රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයකයි පැවතුනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියේ ඔබලාගේ ආදායම  අහිමිකරගෙන තිබෙන බවයි. වෙනත් රටවල් ඔවුන්ගේ ජනතාවගෙන් උපයාගත් බදු මුදල් ඔබලාට ලබා දෙන්න නම් ඔබලාගේ රටේ ආදායම් වැඩි කර ගන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියා. 
    මම ජනාධිපති ධුරය භාරගන්නා අවස්ථාවේදී රටේ උද්ධමනය වැඩි වී රුපියල කඩා වැටිලයි තිබුණේ. නමුත් අපි පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර යම් විසඳුමකට පැමිණිමට කටයුතු කළා. ඒ නිසා එදා ජනතාවට තිබුණු අසීරුකම් බොහොමයක් අද මගහැරී ගොස් තිබෙනවා. 
    මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ දී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම මම ඒ සඳහා මැදිහත්වීමක් ද සිදු කළා. 
    අවාසනාවට මැයි නව වෙනිදා සිදුවූ දෙයින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා බිඳ වැටුණා. ඉන් පසුව  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැතිකම භාර ගන්න කියලා ආරාධනා කළා. ඒ වගේම විපක්ෂයේ අනිත් අයටත් එන්න කිව්වා. 
    දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  කැඳවූ  සාකච්ඡාවලට පවා සහභාගී වුනේ  එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් විතරයි. අනිත් අය මේ සාකච්ඡා වලට සහභාගී නොවුනේ සහ අගමැති ධූරය භාර නොගත්තේ රට මුහුණ දී තිබූ අසීරු තත්ත්වය දැන සිටි නිසයි. 
    නමුත් අවසන් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් කළ ඉල්ලීම ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත්  මම භාර ගත්තේ මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබු නිසයි. 
    ඒ අනුව ඉදිරි වසර එකහමාර  ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමකට ඔසවා තැබීමට මම කටයුතු කරනවා. ඉන් පසුව අපි දේශපාලනය කරමු. එහෙත් රට ගොඩනඟන මෙම වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. මේ වසරේ මැයි, ජුනි, ජූලි මාස වන විට ජනතාවට සහන සැලසිය හැකි ආර්ථිකයක් සකස් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මෙම කාලය අසීරු වුවත් මේ කාලය තුළ සියලුදෙනාගෙන් ලැබෙන සහයෝගය මත ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා.
    මෙහිදී අදහස් දැක්වූ  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා සාගල රත්නායක  මහතා ,
    අපට බැලූ බැල්මට පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  පැනවූ බදු ප්‍රතිපත්තියක් අපි බලෙන් ක්‍රියාත්මක කරන්න හදනවා කියායි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නෙ අවශ්‍ය වෙලාවට සිදු නොකළ රාජ්‍ය ආදායම් මාර්ග ඇහිරී යාම නැවත සකස් කිරීමක්.
    මෙය එක් වර ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි ජනතාවට අද පීඩාවට පත් වීමට සිදුව තිබෙන්නේ. මීට පෙර පැවති රජයන් මෙම නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කළා නම්  අද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වන්නේ නෑ. 
    ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික සංවර්ධනයකට මුල පුරන වැඩපිළිවෙළක්. එම වැඩපිළිවෙළ නිසි අයුරින් ඉදිරියට ගෙන ගියහොත් රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම අසීරු කාර්යයක් නොවේ.
     
    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ  ධම්මදස්සී, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර  විමලධම්ම,  මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද,  මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ  ශ්‍රී සුමංගල  යන ස්වාමීන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරු සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි  සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya