මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්

    පෙබරවාරි 16, 2023

    රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

    විශේෂයෙන් මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම නිසා මෙම ඉළක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.

    එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් රටේ මිරිස් වගාව අඩාල කිරීමට බලපෑ කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත් , ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයකම උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව ඇත.

    බෝග වර්ග 13ක් සදහා පත් කර ඇති බෝග සම්බන්ධීකාරක නිලධාරින්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

    ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 50,000ම ආනයනය කර ඇත.

    2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් වේ. පසුගිය වසරේ දී මෙරට අමු මිරිස් මෙට්‍රික් ටොන් 35,718ක් නිෂ්පාදනය කර ඇත. ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,696කි. අප රටට අවශ්‍ය සමස්ත අමුමිරිස් ප්‍රමාණය ම දැනට අප රටේ නිපදවනු ලැබුවත් වියළි මිරිස් තවමත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.

    රට තුළ නිපදවිය හැකි සියල්ල රට තුළ නිපදවා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා වියළි මිරිස් ආනයනය සඳහා වෙනත් රටවලට ලබා දෙන විදේශ විනිමය මෙරට ඉතිරිකරගැනීමට මෙරට මිරිස් වගා කිරීමෙන් හැකිවන බවද සඳහන් කළේය.


    රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය ද මේ වනවිට මිරිස් වගාව කෙරෙහි උනන්දුවක් දක්වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ASMP හා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන SAPP මගින් ද මිරිස් වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, නවීන උපකරණ මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දෙනු ලබයි.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya