මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට අඛණ්ඩ නොසැලී, නොබියව සැමදා කැපවෙනවා- අගමැති

    පෙබරවාරි 10, 2023

    ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට, අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටින බවත් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගෙන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටට ආර්ථික විශ්වාසයක් ගෙන ඒමේ මූලික පියවර තබා තිබෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි

    තමන් නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් බව පැවසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ම.එ.පෙ. මධ්‍යම කාරක සභාවේ ස්ථාවරය ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට, අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටින බව අවධාරණය කළේය.

    මහජන එක්සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව, ඉතා පැහැදිලිව දශක ගණනාවක් අඛණ්ඩව නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය සුරැකීමට මහත් කැපවීම් සිදු කළ දේශපාලන ප්‍රවාහයක් ලෙස, තවදුරටත් එය ශක්තිමත් කිරීමට වඩාත් කැපවී සිටින බව අවධාරණය කරන ලද බවද කියා සිටි  අග්‍රාමාත්‍යවරයා, පරිපාලන ක්‍රමවේදයට සමාන්තර දිස්ත්‍රික්කය ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කළ හැකි ව්‍යුහගත වීමක්, අවශ්‍ය බව, ම.එ.පෙ., 1980 දශකයේ මුල සිට ම යෝජනා කරමින් කියා සිටි බව පැවසීය. ම.එ.පෙ. කේවල ආසන වැඩි වශයෙන් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන ආර්ථික උවමනාව ජාතික අවශ්‍යතාවයක් ලෙස, යළියළි මතක් කර සිටින බවද ඔහු කීය. ම.එ.පෙ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    .

    දිස්ත්‍රික්ක මට්ටමින් පරිපාලනය ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති බවද, එමගින් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගෙන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. පළාත් මට්ටම ගෙන ආවේ, 13 වන සංශෝධනයෙන් බවද ඔහු කීය. රටේ දිස්ත්‍රික්ක පනතක්ද ඇති බව කි ඔහු, දිස්ත්‍රික්ක අමතක කර වැඩකළ නොහැකි බවද කියා සිටියේය.

    විරුද්ධ පක්ෂය අස්ථාවර ස්ථාවරයක් අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවත්, ජාතික සභාව ස්ථාපිත කළත්, විරුද්ධ පක්ෂය ඊට සහභාගී නොවන බවත්, නිදහස් සැමරුමට සහභාගී නොවූ බවත් ඔහු කියා සිටියේය.

    රටේ නිදහස් දිනය තරම් උතුම් දිනයක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඊට සහභාගී වීමට සෑම දෙනාට ම වගකීමක් ඇති බවද ඔහු පැවසිය. 21 වන සංශෝධනයෙන් ස්වාධින කොමිෂන් සභා ගෙනා බවත්, ඒවා ශක්තිමත් බවත් ඔහු කීය.

    21 මගින් ජනාධිපති බලතල රාශියක් පාර්ලිමේන්තුවට, අගමැතිට පවරා ඇති බවත්, විධායක කාරක සභා ක්‍රමය ඇතිකළ බවත්, ඔහු පැවසිය. තවමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි වුවත්, බලය අඩුකර ඇති බවත් සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා මාලාවේ අවසාන අදියරට පැමිණ ඇති බවද ඔහු පැවසීය. චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලබාදුන් සහය පිළිබඳවද ඔහු කරුණු අනාවරණ කළේය.

    රටට ඉඩම් ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බව ඔහු කිය. පුළු උඩරට ම, ඉඩම් ප්‍රතිසංස්කරණ අවසන් වනතුරු බලාසිටින බව පැවසූ ඔහු, කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා දහස් ගණන් ඉඩම් රට පුරා ඇති බවත්, ඒ සඳහාද ඉඩම් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව, කියා සිටියේය.

    රටට ආර්ථික විශ්වාසයක් ගෙන ඒමේ මූලික පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. නව ආර්ථික වැඩපිළිවෙළක් තරුණ පරපුරට ලබාදිය යුතු බව කියා සිටි ඔහු, ඉන්දියාව මෙන් ඩිජිටල් තාක්ෂණයෙන් දියුණුවට පත්විය යුතු බවද කිය.

    මේ වනවිට රට පුරා මහ කන්නයේ අස්වැන්න නෙලමින් පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ගොවි ජනතාව රටට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදී ඇති බවද සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් පවතින බවද ඔහු කිය.

    කුමන ආර්ථික ප්‍රශ්න ඇත්ත, රාජ්‍ය අංශයේ කිසිදු අයෙකු අද වනතුරු දොට්ට දමා නොමැති බව, ඔහු අවධාරණය කළේය.

    අඩු ආදායම්ලාභින්ගේ ජනතා දුක වැටහෙන බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා, එය විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇතත් විරුද්ධ පක්ෂයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවද ප්‍රකාශ කළේය.

    සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍ය බවට වන යෝජනා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර ඇති බවද ඔහු කීය.

    බදු සහනයක් දී ඇති බවද, ආර්ථිකය බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන්, මේ වනවිට ගොඩ ඒමේ තත්ත්වය ඇතිකරගෙන යන බවද සඳහන් කළේය.

    තුර්කිය සහ සිරියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සහ පිඩාවට පත්වූ සියලු ජනතාවට සහ එම රටවල් වෙත ශෝකය පළ කළ අග්‍රාමාත්‍යවරයා, මෙරට නිෂ්පාදනවලින් කොටසක් සහන ලෙසින් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද ඔහු කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya