මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු රැසක් තිබෙනවා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

    නොවැම්බර් 29, 2022

    මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු රැසක් ඇති බවත්, මිනිස්සුන්ගේ සංඛ්‍යාත අවභාවිත කර රටේ ජාතිවාදය නැවත වපුරන්න ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන බවත්, මේ නිසා පූර්ව ළමා වියේ සිට ම මාධ්‍ය සාක්ෂරතාව ලබා දීම ඇරඹිය යුතු බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා 28 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    එහි දී සභාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

    ජනමාධ්‍ය කියන්නේ අපේ ඔළුවල තියෙන් පිංතූරවල මූලාශ්‍රය. රටක ජනමාධ්‍ය ජාතික සංවර්ධනයට තීරණාත්මකයි. ඕනෑ ම ජාතියක අනාගතය සන්නිවේදන මාධ්‍ය කලාව මත රැදී තිබෙනවා. මේක විද්‍යාත්මක ව සත්‍යයක්. ඒ සදහා මාධ්‍ය සාක්ෂරතාව ඉතා වැදගත් වෙනවා. විවිධ මාධ්‍ය හරහා සමාජගත වන තොරතුරුවලට පිවිසීම, විශ්ලේෂණය කිරීම, නිර්මාණය කිරීම, පිළිඹිඹු කිරීම සහ ක්‍රියාකිරීමට ඇති හැකියාව පිළිබද වන පුළුල් සංකල්පයක්. ඕනෑ ම රටක තිරසර දියුණුවට මාධ්‍ය සාක්ෂරතාව අනිවාර්යය වෙනවා. ඒකට මාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනයක් තියෙන්න ඕනෑ. පුද්ගලයෙක් විවේචනාත්මක චින්තකයෙක්, ඵලදායී සන්නිවේදකයෙන්, ක්‍රියාශීලී පුරවැසියෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන විමර්ශනය, පුරුදු, ප්‍රකාශන, කුසලතා, වර්ධනය කරන්න මාධ්‍ය සාක්ෂරතාව ඉතාමත් ම වැදගත් වෙනවා.

    මම යෝජනා කරනවා පූර්ව ළමා වියේ ඉඳල ම අපේ රටේ මාධ්‍ය සාක්ෂතරාව පිළිබඳ යම් අධ්‍යාපනයක් දෙන්න පුළුවන්කමක් ලැබුණොත්, එමගින් අපට පුරවැසියෙක්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන්න ලොකු අවකාශයක් නිර්මාණය කළ හැකියි කියලා.

    ඩොක්ට සාෆිගේ සිදුවීම ගන්න, මාධ්‍ය හරහා ඩොක්ට සාෆි කියන බිල්ලෙක් මවලා, වඳ කොත්තු කතා හදලා, නොයෙක් දේ කතා කළා. නිවැරදි මාධ්‍ය සාක්ෂරතාවක් තිබුණා නම්, මිනිස්සු මේක ගන්නේ නෑ. කැලණිය පන්සලේ ධාතු මතු වුණා කිව්වා. මිනිස්සු පිළිගත්තා. ඒක පිළිගත්තේ මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රශ්නය නිසා. මේක නිවැරදි කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනෑ. හැමෝම එකතු වෙලා මේ මාධ්‍ය පිළිබඳ තියෙන අවබෝධය මිනිස්සුන්ට ලබා ගන්න ඉඩකඩ හදන්න ඕනෑ.

    අපි දැක්කා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා කළ කතාව. ජනාධිපතිවරයා කිව්ව කතාව කොහොමද වාර්තා වෙන්නේ කියන එකට හොඳ ම උදාහරණය තමයි ඒ කතාව වාර්තා කළ ආකාරය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පස්සේ මැව්වේ හිට්ලර් කෙනෙක්. හැබැයි ජනාධිපතිවරයා කිව්වේ දහ අටෙන් හිට්ලර් කෙනෙක් හදන්න හැදුව එක දහනවයෙන් ආපස්සට ගෙනාවා. විස්සෙන් හිට්ලර් කෙනෙක් හදන්න හැදුව එක විසි එක හරහා ආපස්සට ගෙනාවා. එහෙම ගෙනාව මට ඇයි හිට්ලර් කියන්නේ කියලයි. හැබැයි රටේ පළමු පුරවැසියාගේ කතාව තමයි මේ විකෘති කළේ. විකෘති කරලා කිව්වේ තමන්ට වුවමනා විදියට. විවිධ කාලවල තමන්ට ඕනෑ විදියට මතවාද හදන මාධ්‍ය ඉන්නවා. තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව ඒ ඒ මාධ්‍ය කඩේ යනවා. ඒ කඩේ යන ගමන් තමන්ට ඕනෑ මතවාදය නිර්මාණය කරනවා. අපි අහන්නේ තමන්ගේ මාධ්‍යයේ තියෙන නිදහසේ සීමාව ඉක්මවා ගිහිල්ලා මේ කරන්න හදන්නේ සමස්ත රටක් බංකොලොත් කරන එක ද? අපි මාධ්‍යවලින් ඉල්ලන්නේ රට බංකොලොත් කරන කර්තව්‍යට මාධ්‍ය හවුල් වෙන්න එපා කියලයි.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වේ තව ටික දවසකින් අයවැය ඉවර වුණා ම, ජාතික ප්‍රශ්නය විසඳිය යුතුයි කියලයි. අවුරුදු ගාණක් මේ ප්‍රශ්නයේ හිරවෙලා හිටියා ඇති කියලයි. එහෙත් එක්තරා නාළිකාවක වාර්තා කළේ ඔන්න බළලා මල්ලෙන් එළියට පනිනවා, ජාතිවාදය ගේන්න හදනවා, මෙන්න රට බෙදන්න හදනවා, කියලා දැවැන්ත ජාතිවාදී මතවාදයක් ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. මේවා බලාගෙන ඉන්න ද අපිට කියන්නේ? මේ අවභාවිත කරන්නේ මිනිස්සුන්ගේ සංඛ්‍යාත. මිනිස්සුන්ගේ සංඛ්‍යාත අවභාවිත කරලා රටේ ජාතිවාදය නැවත වපුරන්න ඇතැම් මාධ්‍ය නාළිකා කටයුතු කරනවා.

    දැන් මේ සමහර මාධ්‍ය නාළිකා මේ මගින් හදන්නේ රට ගිණි තියන්න. මිනිස්සු අවුස්සන්න. රට බංකොලොත් කරන්න. ප්‍රවෘත්තියේ තියෙන දේ නෙවෙයි කියන්නේ. පත්තරේ බලාගෙන කැප්ෂන් එකේ තියෙන දේ විතරක් කියලා වෙන කතාවක් මවනවා. ඒ හරහා රට ගිණි තියනවා. රට ගිණි තියලා, බංකොලොත් කරලා නැවත රට අමුතු තැනකට පත් කරන්න මේ අය බලාපොරොත්තු වෙනවා.

    සමාජ මාධ්‍ය කරන්නෙත් මේ විදියට ම අවභාවිතාවක්. අද කණගාටුවට කරුණ තමයි ලංකාවේ ප්‍රධාන මාධ්‍යත් සමහර වෙලාවට වැඩ කරන්නේ සමාජ මාධ්‍ය ඉලක්ක කරගෙන. සාමාජ මාධ්‍ය වීව්ස් වැඩි කරගන්න පුළුවන් විදියට තමයි රේටිංන්ග් වැඩි කරගන්න තමයි, මිනී පෙන්නනවා, මරණ, බෙල්ල කපන ඒවා, දරුවෝ මරලා දාන ඒවා, අඹු සැමි ප්‍රශ්න පෙන්නලා රේටිංග්ස් වැඩි කරන ගමන් සමාජ මාධ්‍යත් භාවිත කරනවා ඒ ටික ම පෙන්නන්න. මේවට අපි දැන් ක්‍රියාමාර්ග ගන්න ද?

    අපි කියන්නේ මාධ්‍ය හිර කරන්න, බලපෑම් කරන්න අපට ඕනෑ කමක් නෑ. ඒත් දී ඇති නිදහස මේ විදියට භාවිත කළොත් බංකොලොත් වෙන්නේ රට. දරුවෝ පාවිච්චි කරනවා, මේ විදියට පාවිච්චි කරලා රට බංකොලොත් කළොත්, රටත් එක්ක ම මාධ්‍ය ව්‍යාපාරයත් බංකොලොත් වෙනවා. රට සාමකාමී නම් මාධ්‍යටත් ව්‍යාපාරය කරගන්න පුළුවන්. හැබැයි අද රට බංකොලොත් කරලා මාධ්‍ය කරන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නය ඇවිත් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මතක් කරනවා සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය හරහා වැරදි ප්‍රවෘත්ති, වැරදි තොරතුරු, ජාතිවාදය වපුරන උදවිය ඉන්නවා නම්, ඒ පිළිබද යම් විනය ක්‍රියාමාර්ගයක්, යම් කිසි නීතියක්, මාධ්‍ය නිදහස ආරක්ෂා කරගන්නා ගමන්, ජාතියට, රටේ ඉදිරි ගමනට හානි කරනවා නම් ඒ අයට යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

    මේ මාධ්‍ය සාක්ෂරතාව නිර්මාණය කරන්න, අපි සමාජයේ උගතුන්ට, බුද්ධිමතුන්ට, සාකච්ඡා කරන්න දන්න අයට, ආරාධනා කරනවා යහපත් රටක් අපේක්ෂා කරන මැදහත් උගතුන්ට මාධ්‍ය සාක්ෂරතාව පිළිබද ව, එකතු වෙලා කතිකාවතක් හදලා, රට ඇතුළේ මාධ්‍ය සදාචාරය, සාක්ෂරතාවය හදන්න.

    රූපවාහිනී නාළිකාවලට ඕනෑ විදියට වත්, පුවත්පත්වලට ඕනෑ විදියටවත්, ගුවන් විදුලියට, සමාජ මාධ්‍යයට ඕනෑ විදියටවත් රට කරන්න බැරි වෙන විදියට සබුද්ධික සමාජයක් නිර්මාණය කිරීම සදහා සියලු දෙනා එකතු වෙන්න ඕනෑ.

    බොහෝ විට බටහිර රටවල දියුණුව ගැන කතා කරනවා. අපි මතක් කළ යුත්ත තමයි ඔවුන්ගේ දියුණුවට එක් හේතුවක් තමයි මාධ්‍ය සාක්ෂරතාවයෙන් ඉහළ සමාජයක් හිමි ව තිබීම. උතුරු ඇමෙරිකාව මාධ්‍ය සාක්ෂරතාව වෙත පිවිසෙන්නේ 1978. පාසල් විෂය මාලාවට මාධ්‍ය සාක්ෂරතාව ඇතුළත් කළ පළමු උතුරු ඇමෙරිකානු රට කැනඩාව. එක්සත් රාජධානිය යුරෝපයේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ ප්‍රමුඛයා වෙනවා. එක්සත් රාජධානියේ මාධ්‍ය අනාගතය වෙනුවෙන් තිරසාර ව භාවිත කරන්න පටන් ගත්තේ 2003 දි. ස්කැන්ඩිනේවියානු රටවල මාධ්‍ය අධ්‍යාපනය 1970 දී ආරම්භ කළා. 1977 පින්ලන්තය ප්‍රාථමික විෂය මාලාවට ඇතුළත් කළා. ස්වීඩනය 1980, ඩෙන්මාර්කය 1970, ජර්මනිය 70-80 දශකවල දී, නෙදර්ලන්තය 2006දි, රුසියාව 90 දශකයේ දී මාධ්‍ය සාක්ෂරතාව වෙනුවෙන් කටයුතු ආරම්භ කළ නිසා තමයි ඔවුන් අද ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ.

    අද ශ්‍රී ලාංකික ජන සමාජය චින්තනයක් නැති තැනට පත් වෙලා තියෙන්නෙත්, තමන්ගේ හැසිරීම කොතැනට යන්නේ කියලා නොදන්නේත්, අපි මොනවද කළ යුත්තේ කියලා නොදන්නේත්, මාධ්‍ය මේ සදහා වුවමනා කරන මාධ්‍ය හැසිරීම කොතැනට යා යුත්තේ කියලා නොදන්නේත්, අපි වල් බූරු විදියට පාවී පාවී තීන්දු ගන්නේත්, මේ සියලු දේටම හේතු වෙලා තියෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව නොමැති වීමයි. ඒ හරහා පුළුල් විචක්ෂණ තීන්දු තීරණ නොගන්නා නිසයි. ඒ නිසා පාසල් අවදියේ සිට ම වැඩිහිටි සමාජය තුළත්, මාධ්‍ය සාක්ෂරතාව, අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු ආරම්භ කළ යුතුයි. ඒ සදහා පෞද්ගලික දේශපාලන මතවාද පැත්තකින් තියලා, රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු ජනමාධ්‍ය ආයතනවලට එකතු වෙන්න, මේ වෙලාවේ රට වැටුණු තැනින් ගොඩනගන එක තමයි ඔබෙත් අපෙත් යුතුකම. ඒ සදහ සියලු මාධ්‍ය ආයතන තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර පැත්තකට දාලා සියලු දෙනා එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

    විදේශ රැකියා අමාත්‍යංශයට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉමහත් සහයෝගයක් සහ ශක්තියක් මේ වන විට ලැබෙමින් පවතිනවා. විදේශ ගත වන අයගේ ලේඛන ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රශ්න තිබුණා. අද වන විට අමාත්‍යංශයක් විදියට ඒ කටයුතු විධිමත් ව සීග්‍රග්‍රාමී කරන්න හැකි වෙලා තියෙනවා. ඒ සදහා සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට මම ස්තුතිය පළ කරනවා. විදේශ කටයුතු අමාත්‍යංශයත් විදේශ රැකියා ක්ෂේත්‍රයට විශාල සහයෝගයක් ලබා දෙනවා. එයටත් මේ මොහොතේ ස්තුතිය පළ කරනවා.

    තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධයෙනුත් විශේෂ සදහනක් කරන්න කැමැතියි. විදේශ රැකියා අමාත්‍යංශය විදියට තානාපති කාර්යාලවල අමාත්‍යංශ නිලධාරීන් සේවය කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා නැගෙන්නේ මේ තැන්වල තියෙන වැරදි අඩුපාඩු ගැන විතරයි. හැබැයි ඒවායේ තියෙන අවම පහසුකම්, අවම කාර්ය මණ්ඩල එක්ක ඔවුන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනවා. පාස්පෝට් එක, මරණ සහතිකයේ සිට සෑම දෙයකට ම විදෙස්ගත ප්‍රජාවට සහාය වෙනවා. කොරෝනා වෙලාවේ තමන්ගේ සීමාවෙන් එහාට ගිහින් උදව් කළා. මැදිහත් විය යුතු සෑම වෙලාවකම ඔවුන් මැදිහත් වෙලා තියෙනවා. එහෙත් සෑම අවස්ථාවක ම චෝදනා කෙරෙනවා ඇරෙන්නට සේවය නිසි ඇගැයීමකට ලක් වෙන්නේ නෑ.

    විදේශයක දී අපේ රටේ ප්‍රජාව බලා ගන්න ඉන්න අපේ පිරිස තමයි ඒ. ඔවුන් ඒ යුතුකම ඉෂ්ට කරනවා. අඩුවැඩි වශයෙන් සමහර තැන්වල පුද්ගලාබද්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමස්තයක් විදියට ඉතා දැවැන්ත සේවයක් කරනවා. මම මෑතක දී ජපානය කොරියාව සහ සෞදි අරාබියේ තානාපති කාර්යාල වෙත යන්න පුළුවන් වුණා. ඒ තානාපති කාර්යලවල ඉතාමත් ම අඩු පහසුකම් යටතේ, අවම කාර්ය මණ්ඩලයක් යටතේ, දැවැන්ත කාර්යභාරයක්, පෞද්ගලික අංශයේ වැඩ කරනවටත් වඩා හොදට සහ වේගවත් ව ඔවුන් සේවාවන් සපයනවා. නිවාඩු අතිකාල පවා නොතකා දැඩි කැපවීමකින් තමන්ගේ රට වෙනුවෙන් ලොකු සේවයක් මෙහෙවරක් සිදු කරනවා. ඒ තැනට පත් වී තිබීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට, රාජ්‍ය අමාත්‍යවරයාට, අමාත්‍යශයේ සියලු නිලධාරීන්ට අපේ ස්තුතිය පළ කරනවා. නිකන් පුටු රත් කරනවා කියන එක පැත්තකට දාලා, රට වැටුණු වෙලාවේ රට ගොඩ නැගීමට කරන කටයුතු වෙනුවෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ සියලු නිලධාරන්ටත් ස්තුතිවන්ත වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya