මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු, දඩ හා පොළී මුදල රු.බිලියන 773 ක් - කෝපා කමිටුවේදී හෙළි වෙයි

    නොවැම්බර් 29, 2022

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය.

    මේ අතර මෙම මුදලෙන් රුපියල් 201,400,855,198 ක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් 572,557,001,420 ක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණි.

    එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකරගැනීමට කටයුතු කොට ඇති බවයි.

    මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මනිත්‍රී  කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය
    පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.

    මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 දින කෝපා කමිටුවට කැදවා ලබාදුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අයවැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ලඟාකරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ
    කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන්  (28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී   කබීර් හෂීම් මහතා පෙන්වා දුනනේ 2022 වර්ෂයේදී ඇස්තමේන්තු කළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති බවත් එය 2023 මෙවර අය වැයේදී
    රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බවත් ය. එබැවින් මේ වන විටත් හිඟ බදු විශාල ප්‍රමාණයක් තිබියදීත් 2023 අයවැයෙන් 69% වැඩිවීමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි යන්න විශාල ගැටලුවක් බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    මෙම අපේක්ෂිත බදු ආදායම ලගාකරගැනීමට නොහැකි වුවහොත් විශාල අයවැය පරතරයක් ඇති වන බවත් රටක් ලෙස බලාපොරොත්තු වන සියලු ඉලක්ක සපුරාගැනීම අසාර්ථක වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී මෙම බදු මුදල් අයකරගැනීම සඳහා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හඳුනාගෙන ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම මෙම RAMIS පද්ධතිය සකස්කිරීම සඳහා රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන් අතර එසේ වුවද නිසි ක්‍රියාකාරීමට්ටමක එය නොපවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මින් පෙරද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ කෝපා කමිටුවේදී පෙන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් තවමත් විධිමත් පියවරක් ගෙන නොමැති බවද විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    තවද මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලු කාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීම පිළිබඳ දින වකවානු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය. එසේම එම වාර්තාව ප්‍රමාණවත් නොවන්නේ නම් ගනු දෙනු පිළිබඳ විගණනයක් කිරීමට කටයුතු කරන බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

    එසේම 2022 ජුනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරු වූ චෙක් පත් 4831 පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. මෙම අගරු චෙක්පත් අතරින් රුපියල් 1,429,356,750 ක් වටිනා චෙක්පත් 3817 ක් වසර 3කට වඩා පැරණි ඒවා බවද මෙහිදී අනාවරණය විය.

    මේහිදි මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නොමැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළේය. මෙය සාපරාධී
    අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටිවට වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ෂන ද සිල්වා, ලසන්ත අලගියවන්න, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මේජර් (ආචාර්ය) ප්‍රදීප් උඳුගොඩ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya