මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගවයන් ආනයනය කිරීම- අත්තිකාරම් මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට කැඳවයි

    නොවැම්බර් 25, 2022

    වෙලාඩ් ව්‍යාපෘතිය (Wellard Project) යටතේ 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එම කාරකසභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

    මෙලෙස කිරි ගවයන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ගෙවීම සිදු වුවද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බව මෙහිදී හෙලි විය. එසේම 2012, 2013 සහ 2015 වර්ෂ වලදී ඇ.ඩො. මිලියන 33.7 ක් වැයකොට ඹ්ස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4495 න් 3991 මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළබඳ මෙම විශේෂ වාර්තාව කෝප් කමිටුවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2017 වර්ෂයේ විගණකාධිපති වාරතා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කර බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් (23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම නිර්දේශය සිදු කළේය.

    මේ සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්, විගණකාධිපතිවරයා, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව සහ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සහභාගී විය.

    මෙහිදී විගණකාධිපති වාර්තාව සහ 2021 අප්‍රෙල් 07 දින පැවති කෝප් කමිටුවේ කාර්ය සටහන් පිළිබඳ සලකා බැලීම සිදු විය. මේ අනුව එහිදී මූලික කරුණු 5ක් පිළිබඳ අවධානය යොමු කළේය.

    එනම් ජාතික පශු සම්පත් මණ්ඩලයේ සංයුක්ත සැලැස්මට අනුකූල ලෙස සංයුක්ත සැලැස්මේ ඉලක්ක සපුරාගැනීම පිළිබඳ පවතින ගැටලු, 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, ගිණුම් ඉදිරිපත් කිරීම හා විගණන මතය පිළිබඳ දුර්වලතා එනම් 2019, 2020, 2021 මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් නොකිරීම, විගණන සහ කළමනාකරණ රැස්වීම් ක්‍රමානුකූලව පවත්වා නොගැනීම සහ කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ ප්‍රමාණවත් අයුරින් පසු විපරමකට ලක් කොට නොතිබීම යන කරුණු 5 සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

    මෙම කරුණු සැලකිල්ලට ගෙන ගිණුම් කරන ප්‍රශ්න, මූල්‍ය ප්‍රකාශන වාර්තා සහ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම, නිත්‍ය ගණකාධිකාරීවරයෙක් නොමැතිවීම, විගණනය පිළිබඳ ප්‍රශ්න, තොරතුරු තාක්ෂණය භාවිතය, සංයුක්ත සැලැස්මේ ඇති දුර්වලතා, බඳවාගැනීම්, අතිරික්ත කාර්‍ය මණ්ඩලය ඉවත් කිරීම, ඉඩම් හා සම්බන්ධ ගැටලු, දියර කිරි ව්‍යාපෘතියේ ප්‍රගතිය, වෙලාඩ් ව්‍යාපෘතිය, සත්ත්ව ආහාර නිෂ්පාදන යන්ත්‍ර භාවිතය, ගොවිපොළ කළමනාකරණය, මණ්ඩලය දිගින් දිගටම පාඩු ලැබීම, සී/ස මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම, සී.ස. ශ්‍රි ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්) සමාගම සම්බන්ධ ගැටලු යන සියලු කරුණු සාකච්ඡා කොට අමාත්‍යාංශ ලේකම්වරයාට, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයාට සහ විගණකාධිපතිවරයාට නිර්දේශ 9ක් ලබාදීම සිදු විය.

    එනම්
    1. මාසයක් ඇතුළත මෙම මණ්ඩලයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කර ඉදිරිපත් කිරීම.
    2. ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති, සපුරාගැනීමට අපේක්ෂා කරන ඉලක්ක සහ උපායමාර්ගික සැලැස්ම කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
    3. සැලසුම් කරන ව්‍යාපෘති සහ සපුරාගැනීහමට අපේක්ෂා කරන ඉලක්ක වෙනුවෙන් පිළියෙළ කරන ලද අයවැයක් කෝප් කමිටුවට ලබාදීම.
    4. මිලදීගැනීම් සහ අළෙවිකිරීම් වෙනුවෙන් ක්‍රියාවට නංවන ප්‍රසම්පාදන සැලැස්ම කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
    5. ඉඩම් අයිතිය, පරිහරණය, ඌන උපයෝජනය සහ වටිනාකම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මාස දෙකක් ඇතුළත කෝප් කමිටුවට ලබාදීම.

    6. මිල්කෝ සමාගම සමග උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව පිළිබඳව සති 3ක් ඇතුළත ශක්‍යතා වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කිරීම.
    7. සති දෙකක් ඇතුළත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ආකාරයට කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුවට කැඳවීම.
    8. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒ සඳහා වන නිර්දේශ සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීම.
    9. කිරි ගවයන් රක්ෂණය කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු හඳුනාගෙන වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම. යන නිර්දේශ ලබාදීම සිදු විය.

    මෙහිදී මෙම නිර්දේශ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට එළඹෙන දෙසැම්බර් 14 දින මෙම මණ්ඩලය කෝප් කමිටිුවට නැවත කැඳවීමට කෝප් කමිටු සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ගරු රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. එම්. මුෂාරෆ්, නලීන් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. එසේම නිරීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya