මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තරායකර ඖෂධ සහ විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක්- විෂ මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයන කේන්ද්‍රයක් බවට පත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන්

    නොවැම්බර් 22, 2022

    ශ්‍රී ලංකාව මේ වන විට අන්තරායකර ඖෂධ හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයන කේන්ද්‍රයක් බවට පත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නඩු, වෙනම ම මහාධිකරණයක් පත් කර හැකි ඉක්මනින් අවසන් කරන මෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස අගවිනිසුරුවරයාගෙන් රජය ඉල්ලීමක්ද කර ඇති බවත්, ජනවාරි මස වන විට එවැනි අධිකරණයක් පත් කිරීමට බලාපොරොත්තු වන බවත්, අධිකරණ අමාත්‍යවරයා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද(22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට විෂ මත් ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රති අපනයන කේන්ද්‍රයක් බවට පත්කරගෙන සිටීම සම්බන්ධයෙන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාව මේ වන විට අන්තරායකර ඖෂධ හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයන කේන්ද්‍රයක් බවට පත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, ඒ නිසාම අන්තරායකර ඖෂධ හා විෂ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වැටලීම් කර අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවූ බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය වැඩිදුරටත් පැවසීය.

    එහිදී කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ව්‍යාප්ත වෙමින් ඇති අන්තරායකර ඖෂධ සහ විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. වර්තමානය වන විට මත්ද්‍රව්‍ය ගැටලුව ආර්ථීක ගැටලුව අභිබවා පැණ නැගී ඇති ගැටලුවක් බවත්, ආර්ථික ගැටලු විවිධ අවස්ථාවල මතුවී නැවතත් සමනය වන නමුත් මත්ද්‍රව්‍ය ගැටලුව සමස්ත පරම්පරාවක් විනාශ කිරීමට හේතු වන බවත්, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    දැනට තිබෙන දත්ත වාර්තා සම්පූර්ණ නොවන බවත්, අසම්පූර්ණ වාර්තා වලින් පවා මෙරට ජනගහනයෙන් ලක්ෂ 5කට ආසන්න තරුණ තරුණියන් ප්‍රමාණයක් අද වන විට මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත්, අමාත්‍යවරයා අනාවරණය කළේය.

    අයිස් නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය අන්තරායකර ඖෂධ පනත යටතේ විෂ මත්ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන නොතිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කිසිඳු හැකියාවක් මෙතෙක් නොතිබූ නමුත් පසුගිය සතියේදී ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බවත්, ඒ අනුව හෙරොයින් සේම ග්රෑම් පහකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන සහ ලඟ තබාගන්නා හෝ ව්‍යාපාර කරන තැනැත්තන්ට මරණීය දණ්ඩනයෙන් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමෙන් දඬුවම් කළ හැකි වරදක් බවට පත් කළ බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මේ වන විට වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බවත්, දිගින් දිගටම වැටලීම් සිදු කරන බවත්, විශාල පිරිසක් අත්අඩංගුවට පත්වී ඇති බවත්, විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙම මත් ද්‍රව්‍ය හේතුවෙන් පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ඇබ්බැහි වී ඇති බවත්, මෙහි තිබෙන භයානක ස්වභාවය සම්බන්ධයෙන් සියලු දෙනාට වගකීමක් තිබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන් පැහැදිළිව පවසන්නේ මේ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වීමට එක් දිනක් ගැනීමම ප්‍රමාණවත් බවත්, එම මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වුවහොත් ජීවිත කාලය වසර 02කට සීමා වන බවත්, මෙම මත් ද්‍රව්‍යයෙන් විනාශ කරනු ලබන්නේ මොළයේ සෛල බවත්, එම නිසා මෙම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයගේ ජීවිතය ඉතාම කෙටි බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    මේ වන විට අත්අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍ය සමහර දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව අතරට නැවත යාම වළක්වා ගැනීම සඳහා නියැඳි ලෙස යොදා ගතහැකි සුළු ප්‍රමාණයක් පමණක් තබාගනිමින් ඉතිරි සියල්ල හැකි ඉක්මනින් විනාශ කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපති කාර්යසාධක බලකායක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ස්ථාපනය කිරීමට සමගාමීව පළාත් 09 තුළ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශ සක්‍රීයා කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya