මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 අයවැයට අනුව ජාතික තරුණසේවා සභාවේ ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳ සාකච්ඡාවක්

    නොවැම්බර් 21, 2022

    “යොවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා බාර ගද්දි වැඩක් කරපු, වැඩක් කරන, අදහස්,යෝජනා තියෙන, දැක්මක් සහිත තරුණ අයට අවස්ථාව දෙන්න. එක එක පිරිස එකතු වෙලා නාමයෝජනා දෙන පලියටම ඒවා ගන්න එපා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් ආදර්ශයක් වෙන ක්‍රමයකට නාමයෝජනා බාරගන්න. ඒක ඉදිරියේ ජාතික දේශපාලනයටත් වැදගත් වේවි.” යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ පැවසූයේ, 2023 අයවැය අනුව ජාතික තරුණසේවා සභාවේ ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳ  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ සාකච්ඡාවේදී ය.

    එහි දී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    “තරුණ සේවා සභාව ඇතුලේ එකම පිරිසක් බහිරවයෝ වගේ ඉන්නවා, යන්නෙ නැහැ. එකපිරිසක් තනියම වරප්‍රසාද භුක්ති විඳින එක නවත්තන්න අවශ්‍යයි. පුහුණුව ලබපු අලුත් තරුණ පිරිස්වලට අවස්ථාව දිය යුතුයි. පසුගිය මාස කිහිපය තුළ රටේ තිබුණ අර්බුද එක්ක අපිට දැනෙන වෙනසක් කරන්න බැරි උනා. නමුත් 2023 වසරෙදි තරුණයින්ට දැනෙන ආකාරයේ වෙනසක් කළ යුතුයි. ඒ වෙනස ගමේ ඉන්න තරුණයට දැනෙන ආකාරයේ එකක් විය යුතුයි. සැබෑ දියුණුව නම් අපිට මහපාරෙදි හමුවෙන තරුණයින් තරුණසේවා සභාවේ දියුණුව ගැන කතාකරන එක. මේ රටේ රැකියා විරහිත තරුණයින් මිලියන දෙකක් ඉන්නවා. ඒ අයගේ වගකීම අපිට තියෙනවා. පුහුණුවක් දීලා, පාඨමාලාවක් කරල අවසානේ තරුණ පිරිස් අත අරින්න බැහැ. ඔවුන් රැකියාගතවන අවස්ථාව දක්වා අවශ්‍ය මගපෙන්වීම සම්බන්ධතාවය තියාගත යුතුයි. සෘජුවම රැකියා ඉලක්ක කරගත් පාඨමාලා සඳහා වැඩි අවධානයක් දෙන්න” යනුවෙනි.

    මෙහි දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් ඉදිරි වසර හතරක කාලයක් ඉලක්ක කරගත් ජාතික තරුණසේවා සභාවේ සැළැස්ම ඉදිරිපත් කරන ලදී. නව්‍යතාවයෙන් යුතු ව්‍යවසායකත්වයෙන් බල ගැන්වූ තාරුණ්‍යක්, ජාතික ආර්ථිකයට සෘජුවම දායකවන තාරුණ්‍යයක්, ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් විනයගරුක තාරුණ්‍යක්, නිරෝගී ජව සම්පන්න තාරුණ්‍යයක් යන ක්ෂේත්‍රගත අරමුණු සහිත වැඩපිළිවෙළක් යෝජනා කරන ලදී.

    එහි දී වෘත්තීය කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, ධාරිතා සංවර්ධනය හා ආදායම් උත්පාදනය, තොරතුරු තාක්ෂණය හා ප්‍රවර්ධනය, ජාත්‍යන්තර තරුණ සම්බන්ධතා ගොඩනැගීම, තරුණයින් ජාලගත කිරීම සහ අනාගත අභියෝග ජයගත හැකි තරුණයෙකු නිර්මාණය කිරීම යන කාරණා පිළිබඳ වි‍ශේෂ අවදානයක් යොමුවිය. මීට අමතරව තරුණ ව්‍යවසාය සංවර්ධනය සඳහා තරුණයින්ට පහසුවෙන් ණය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධව ද අදහස් හුවමාරු විය.

    ජාතික තරුණ සේවා සභාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් ඩිප්ලෝමා හා උපාධි පිරිනමන තරුණ සංවර්ධන විශ්ව විද්‍යාල විද්‍යායතනයක් (Srilanka Youth Campus) පිහිටුවීම, ජාත්‍යන්තර රැකියා වෙළ‍පොල ඉලක්ක කරගත් පාඨමාලා හඳුන්වා දීම, අධ්‍යයන මණ්ඩලයක් පත්කිරීම සහ විෂයමාලා සංවර්ධන ඒකකයක් ස්ථාපනය කිරීම, තරුණ ව්‍යවසායකයින් පුහුණු කිරීම ආදී ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡාවට බඳුන්විය.

    මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා,අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන) එන්.සී. විතානගේ මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන මහතා, අතිරේක ලේකම් (තරුණ) සමන් වඩුගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) ගාමිණි වික්‍රමපාල මහතා ඇතුළු නිළධාරීන්, ජාතික තරුණසේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා, අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත්) මනුල චමල් පෙරේරා මහතා, අධ්‍යක්ෂ (මූල්‍ය) නුෂාන් සුභසිංහ මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන) ප්‍රභාත් ලියනගේ මහතා, අධ්‍යක්ෂ (කාර්මික හා වෘත්තීය පුහුණු) රසිත දෙල්පොල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ,සැළසුම් හා සංවර්ධන) මංජුල විදානපතිරණ මහතා, කළමණාකරන අධ්‍යක්ෂ (සීමාසහිත තරුණසේවා සමාගම) ආර්.පී.සුරංග අජිත් මහතා, අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් එක්විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya