මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට පියවර 

    නොවැම්බර් 20, 2022

     ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ.

    මෙරට බැංකු, රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා වන නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ් මහතා මේ බව සඳහන් කළේ රටේ බැංකු, රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්තමානයේදී උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උක්ත කමිටුව (18) රැස්වූ අවස්ථාවේදීයි.

    මෙහිදි සභාපතිවරයා පැවසුවේ වර්තමානයේ ඇති බැංකු පොලී අනුපාත මෙන්ම වැට් සහ අනෙකුත් පොදු බදු සහ පෞද්ගලික සමාගම් සහ පුද්ගලයන් වෙත පනවා ඇති බදු හේතු කොටගෙන ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීමේ දුෂ්කරතාවක් පවතින බවයි.

    එමෙන්ම ආනයන පාලනය කිරීම නිසා කඩා වැටී ඇති සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වල තත්ත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව විසින් තමන් මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳව කමිටුව දැනුවත් කරන ලදී. එසේම වාහන ආනයන ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය මෙසේ කඩාවැටිමට ලක්වී ඇති ආකාරය පිළිබඳ කරුණු ඉදිරිපත් විය.

    මෙරට බැංකු ක්ෂේත්‍රය අවධානමකට ලක්වීම වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් ගෙන ඇති පියවර සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් මහබැංකුවේ සහකාර අධිපතිවරයා විසින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

    මේ අනුව සභාපතිවරයා සඳහන් කළේ මෙරට දැවැන්ත රාජ්‍ය බැංකු කිහිපයක් සහ ඉතා හොඳින් පවත්වාගෙන යන පෞද්ගලික බැංකු ගණනාවක් පවතින බවත් බැංකු පවත්වාගෙන යාමේදී විශ්වාසය ඉතා වැදගත් වන බවයි. එනිසා එම බැංකු අතර විශ්වාසය රැක ගනිමින් බැංකු ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙනයෑමේ අවශතාවය පිළිබඳවද සභාපතිවරයා කරුණු පැහැදිලි කළේය. එමෙන්ම අතුරු අයවැය සහ 2023 අයවැය මගින් ගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලද කරුණු සම්බන්ධව මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව සභාපතිවරයා මහ බැංකුවෙන්, මුදල් අමාත්‍යාංශයෙන් සහ බැංකු ක්ෂේත්‍රයෙන් විමසා සිටියේය.

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ මෙරට ආර්ථිකය කඩා වැටීම හේතුකොටගෙන උක්ත ක්ෂේත්‍රයන් තුළ මතුව ඇති ගැටළු නිරාකරණය කිරීමට අදාළ යෝජනා සිය කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කොට ඇති බවයි.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන   මනෝ ගනේෂන් සහ   වජිර අබේවර්ධන සහ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, මෙරට ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, බැංකු සේවක සංගම්, රක්ෂණ ආයතන, සහ පුද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya