මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ඇණවුම් කිරීමේ දී මසක ඇණවුම වෙනුවට තෙමසක ඇණවුම් එකවර කිරීමට සෞඛ්‍ය ඇමති උපදෙස්

    සැප්තැම්බර් 15, 2022

    මෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මසක කාලයක් ඉලක්කකර කෙරෙන ඇණවුම් කිරීම් එකවර තුන් මසක ඇණවුම් කිරීම් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.

    මෙමගින් ඉදිරියේ දී ඇතිවිය හැකි ඖෂධ හා වෛද්‍ය උපකරණ වල හිඟය අවම කර කර ගැනීමට හැකිවනු ඇත. ඉදිරි වකවානුව සඳහා වන ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ , (14) පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

    මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඖෂධ සැපයුම් කරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

    මෙහිදී ඉන්දියානු ණය ආධාර වැඩසටහන (Indian Credit Line) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා උපරිම ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. මෙම වැඩපිළිවෙළට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට හැකි හැකිවනු ඇතැයි අදාල නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර ඒ අනුව රටට වඩා ඵලදායි අයුරින් එම ආධාර වැඩසටහන උපරිම වශයෙන් යෙදවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    තවද ආසියානු යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank) හා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය- UNOPS (United Nations office for Project Services) ආධාර වැඩපිළිවෙලවල් යටතේ ඉදිරි මාස 06 ක් සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට ඩොලරයේ අගය 80% කින් පමණ ඉහළ යාම මත භාණ්ඩාගාර වෙන්කරගැනීම් ප්‍රමාදයකින් තොරව වෙන්කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙළ අවසන් වුවද ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළ අඩපණ නොවී ඉදිරියට කරගෙන යා යුතු බවත් ඒ සඳහා ලැබීමට නියමිත අනෙකුත් පරිත්‍යාග හා ණය ආධාර වැඩපිළිවෙලවල් වඩා කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙස හෙතෙම පෙන්වා දුන්නේ ය.මේ යටතේ චීන ආධාර වන සටහනේ දෙවන අදියර , ලෝක බැංකුව ආධාර, AIA ඇතුළු ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් සඳහා වන ක්‍රියා වලින් වඩා කඩිනම් කිරීමට පියවර ගතයුතු යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ අතර ඉන්දියානු ආධාර ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මිලියන 50 ක් පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇතැයිද එය හැකි ඉක්මනින් අදාළ මිලදී ගැනීම් සඳහා යොදවන ලෙසද අමාත්‍යවරයා අදාළ සැපයුම්කරුවන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    මේ අතර පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමු වූ අතර එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අමාත්‍යවරයා හා පෞද්ගලික ඔස්සැල් හිමියන් අතර සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ පවතින ගැටලු මෙන්ම ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    විශේෂයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යල්පැනගිය පනත් හා නීති රෙගුලාසි වෙනස් කරමින් එම පනත යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya