මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම විධිමත් කිරීමට උපදෙස්

    ජූලි 26, 2022

    ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් වෙත (25) උපදෙස් ලබා දුන්නේය.

    මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.ඖෂධ ගෙන්වීම කළමනාකරණය,හා හිගයකින් තොරව ජනතාවට ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කීය.''සුවසිරිපාය'' සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ඉන්දියානු ණය ආධාර,චීන ආධාර ඇතුළු පරිත්‍යාග ඔස්සේ ඖෂධ විශාල තොගයක් මෙරටට ලැබෙන බවත් එයට අමතරව ඖෂධ ලබා ගැනීමේ අනෙකුත් වැඩපිළිවෙලද විධිමත් කරමින් හිඟයකින් තොරව ඖෂධ
    ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. මෙරට ඖෂධ නිෂ්පාදනය යළි කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට පියවර ගතයුතු යැයිද ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ සාකච්ඡා කර සකස් කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ හෝ ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන් හරහා එම අමුද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඒ තුළ ඉදිරියේදී හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමට හැකිවනු ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.

    අවම වශයෙන් අඩුපාඩුවක් නොමැතිව මාස හයක හෝ කාලයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබිය යුතු බවත් කාර්තුවෙන් කාර්තුවට මේ සඳහා වඩාත් අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
    ලෝක බැංකුව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත වෙන් කර ඇති ඩොලර් මිලියන 23 අතුරින් ඩොලර් මිලියන 18.6 ක් මේ වන විට ලැබී අවසන් බව මෙහිදී අනාවරණය විය.

    ඩොලරයේ අගය වැඩි වීමත් සමඟ මිල ගණන් සංශෝධන සහිතව හෝ ඖෂධ, උපකරණ ලබා ගැනීම ඉතා වැදගත් යැයිද එහිදී සාකච්ඡා විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,ජාතික ඖෂධ නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන ගණනාවක නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya