මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටව යයි

    මැයි 25, 2022

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) හී යුද්ධ හමුදා සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම (23) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්වූහ.

    දිවයිනෙන් පිටත්ව ගිය යුද්ධ හමුදා භටපිරිස් වෙත සුබපැතුම් එක්කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගුවන් තොටුපල වෙත පැමිණියේය.

    හතරවන අදියර යටතේ ප්‍රථමයෙන් මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි හී අණදෙන නිලධාරී කර්නල් චන්දන ජයමහ මහතා සහ එම කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඊ.එම්.සී ඒකනායක මහතා ඇතුළු මාලි රාජ්‍ය බලා පිටත්ව යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) හී සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපති ඔවුන් සියලුදෙනාට සුබපැතුම් එක් කිරීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව යන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමක් සිදුකරන ලදී.

     

    “රෙජිමේන්තු 12 කින් සමන්විත යුද්ධ හමුදාවේ සාමාජිකයින් වන ඔබ, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් රාජකාරීන්හි නිරත වීමේදී ඔබගේ වෘත්තීය හැකියාවන් උපරිමයෙන් ඉටුකළ යුතු බව ඔබ මතක තබාගත යුතුයි. මාලි රාජ්‍යය සඳහා හමුදාමය වශයෙන් දායකත්වය සපයන රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපේ රටට ලබා දී ඇති පිළිගැනීම තුලින් ද එය පිළිබිඹු වේ. ඔබගේ රාජකාරියට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොතබා දැඩි විනයකින් යුතුව වගකීම් සහගතව රාජකාරි කටයුතුවල නිරත වී අප මාතෘභූමියේ ගෞරවය ආරක්‍ෂා කරගැනීම ඔබ සියලුදෙනාගේ වගකීම සහ යුතුකම බව” විදෙස්ගත වන යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් යුද්ධ හමුදාධිපති ප්‍රකාශ කළේය.

     

    එහිදී, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා , “භූමියේ ස්වභාවය කුමක් වූවත් මාලි රාජ්‍යයේ රාජකාරි කරන අපගේ භටපිරිස් ඉතා දුෂ්කර කාර්යභාරයක නිරත වෙමින් සිටියි. අපගේ වෘත්තීය ප්‍රමිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කලාපීය අණදෙන නිලධාරීන් පැහැදීමට පත්වීම හේතුවෙන් එම රාජකාරින් සඳහා අපගේ භටපිරිස් එරට රාජකාරි සඳහා යොදවා ඇත. මේ රටේ ජනතාවට ආරක්‍ෂාව සලසන අතරම, රට ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින මොහොතක අපේ ජාතියේ ආරක්‍ෂකයෝ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට ද අඛණ්ඩව කටයුතු කරති. කුමන හේතුවක් නිසා හෝ මේ භූමියත් එහි ජනතාවත් ආරක්‍ෂා කිරීමේ කාර්යභාරයෙන් අප බැහැර වෙන්නේ නැහැ. මැයි මස 9 දින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පොලිසියේ සහයෝගය ඇතිව පැය 24 ක් තුළ පාලනය කිරීමට අප සමත්විය. මහජනතාව සෑමවිටම අප වෙත අතිමහත් සහයෝගයක් ලබාදුන් අතර සෑම අවස්ථාවකදීම අප සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව” ප්‍රකාශ කරන ලදී.

     

    බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි වෙත සුබපැතුම් එක්කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.

     

    මෙවර එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දවයිනෙන් පිටත්ව යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි හී මුලසුන හොබවන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් වර්ෂ 2022 මැයි මස 04 දින රත්නපුර පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති වෙත ගෞරවාචාර පුදකළහ. මීට මාස කිහිපයකට පෙර මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව ගිය යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සිය පුහුණුවීම් කටයුතු සිදුකරනු ලැබීය.

     

    ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිළයින් බහුතරයකින් සමන්විත මෙම සාමසාධක භට ඛණ්ඩයට, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිළයින් ඇතුළත් වෙති.

     

    මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් උදය කුමාර, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya