මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනපති නිරීක්ෂණයට

    මාර්තු 13, 2022

    විදේශ රැකියා වෙළෙඳපොළෙහි  පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනාගන්න ...
    කාර්යාංශ පනත උල්ලංඝනය කළ විදේශ රැකියා නියෝජිත ආයතනවලට වැට ...

    විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

    විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ජනාධිපතිතුමා පැවසීය. බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය (11) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    “දේශීය ආර්ථිකයට දායක වෙමින් හා සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත සුරක්ෂිත කරමින්, ජනතාවට තම කුසලතාවයන්ගෙන් එතෙර රැකියා වෙළෙඳපොළහි යහපත් ප්‍රතිලාභ ලැබිය හැකි කාර්යක්ෂම හා සමානත්වයෙන් යුත් මාර්ග බිහිකිරීම “ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ” මෙහෙවර වේ. රැකියා නියෝජිත ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම, විදේශගතවන්නන් පුහුණුව හා ලියාපදිංචිය, සමථකරණය, සුබසාධනය, නෛතික කටයුතු, අලෙවිකරණ සහ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතරට ගැනේ.

    කාර්යක්ෂම හා පුහුණු ශ්‍රමිකයන් සොයාගැනීම, ලොව පුරා සේවා යෝජකයන් සහ රැකියා ඒජන්තවරුන් මුහුණපා සිටින ගැටලුවකි. එවැනි පසුබිමක ශ්‍රී ලංකාව දක්ෂ, අවංක සහ පුහුණු ශ්‍රමිකයන් සැපයීමේ තෝතැන්නක් ලෙස කීර්තිනාමයක් අත්කරගෙන සිටී.

    වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යා, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් හා ආපනශාලා, හෙද, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව සතුය. වෘත්තීය සහ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් කාර්යාංශය අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණ.

    විදේශ රැකියා මගින් ලැබෙන ප්‍රේෂණයන්ගෙන් ජාතික ආදායමට ඉහළම විනිමය දායකත්වයක් හිමි වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සේවා ස්ථානවල මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට ගෙන ඇති පියවර ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

    විදේශ රැකියා බලපත්‍රලාභීන්ට ඇති වගකීම නිසි ලෙස ඉටුවන්නේ දැයි ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් විමසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නඩු 2,832ක් පවරා ඇති බව එහිදී අනාවරණය කෙරිණ. එම පිරිස වහාම අසාදු ලේඛනගත කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    විගමනික ශ්‍රමික ප්‍රජාවට සහ ජනතාවට තොරතුරු ලබාදීම හා ගැටලු පිළිබඳ විමසීමට ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු සේවාව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණ.
    තානාපති කාර්යාලවල පිහිටුවා ඇති කම්කරු සුබසාධන අංශ මගින් එම රටවල සේවය කරන විගමනික ප්‍රජාවගේ සුබසාධනය, ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා විශේෂ අවධානයට ලක් කළේය.

    බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සහභාගීත්වයෙන් දීප ව්‍යාප්තව රැකියා වෙළෙඳපොළ පවත්වා ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශය ගෙන යන පියවර ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
    කාර්යාංශ ගොඩනැඟිල්ලේ ඇති සියලු ඒකක නිරීක්ෂණය කරමින් නිලධාරීන් දිරිමත් කළ ජනාධිපතිතුමා සේවා සපයා ගැනීමට පැමිණ සිටි ජනතාවගෙන් ද තොරතුරු විමසීය.

    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මහින්ද හතුරුසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya