මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් මස අවසන්

    පෙබරවාරි 28, 2022

    පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් වන විට අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙත නව නිවාසවල යතුරු භාර දීමේ අවස්ථාවට එක්වෙමිනි.

    පාමංකඩ නව පාලම ඉදිකිරීම වෙනුවෙන් මෙසේ ඉවත් කරනු ලබන නිවාස වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ කොළඹ 05, කාලිංග මාවතේ කොළොම්තොට සරසවි උයනේ නිවාස ලබා දීම සිදු කෙරිණි.

    මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා;

    ශ්‍රී ලංකාවේ පළලම පාලම හැදෙන්නේ පාමංකඩ හන්දියේ. මෙම පාලමේ පළල මීටර් 44ක් වෙනවා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙද්දී මේකේ වැඩ අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ සැලසුම්වල යම් යම් වෙනස්කම් සිද්ධ වුන නිසා අපෙන් තවත් අමතර දින 90ක්‌ ඉල්ලා තිබෙනවා. ඒ අනුව මාර්තු මාසේ 31 වෙද්දී අපි මෙහි සම්පුර්ණ වැඩ නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉතාමත් විශාල රථවාහන තදබදයක් තිබුනෙ. මාර්ගයේ එහා කොටස හදලා අපි විවෘත කළා. එළඹෙන සිංහල අවුරුද්දට කලින් ලංකාවේ පළල්ම පාලම හැටියට මේක ජනතාවගේ පහසුව වෙනුවෙන් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතන ඉදිකිරීම් නිසා නිවාස 8ක්‌ අහිමි වුණා.

    ඒ හැම පවුලකටම අලුත් ගෙවල් හදලා අද යතුරු බාර දුන්නා. අපි මේ සංවර්ධන කටයුතු කරන්නේ ජනතාව එක්ක ඉතාමත් සුහදශීලීව. ජනතාව පාරට බස්සන සංවර්ධනයක් අපේ නෑ. අපි ඔවුන්ට නිවාස ලබා දෙන්න පොරොන්දු වුණා. මේ අපි හිටගෙන ඉන්නේ ඒ නිවාස තිබුණු භුමියේ. මාත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාත්, ඉන්දික ඇමතිතුමාත් අද බාර දුන්නේ අලුතින්ම ඉදි කරපු ඒ නිවාසවල යතුරු. ඉතාමත් අමාරු කාලයක් වුනත් අපි සංවර්ධනය නතර කරලා නෑ. අපි ඉදිරියට යනවා. සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට හදන්න, සංවර්ධනය කරන්න, මාර්ග පද්ධතිය, යටිතල පහසුකම් දියුණු කරන්න, සෞඛ්‍ය සේවය දියුණු කරන්න වගේම වැටුණු ආර්ථිකය දියුණු කරන්න අපේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා. අමාරු කාලයක් වුනත් ඒ හැමදේම ඉටු කරන්න තමයි රජය මහන්සි වෙන්නෙ. අපි කොවිඩ් නිසා කිසිම දෙයක් කරන්න බෑ කියලා හැංගිලා ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට පොරොන්දු උන විදියට, මොන බාධක තිබුනත්, ආර්ථික ප්‍රශ්න තිබුනත් රටේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්න අපි සුදානම් නෑ. මේ තියෙන ප්‍රශ්න තව මාස කීපයකින් අවසන් වෙයි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා'' යැයි අමාත්‍යවරයා පැවසිය.

    මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යපෘති අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya