මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටුවිය යුතුයි - ජනපති කියයි.

    පෙබරවාරි 24, 2022

    රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටුවිය යුතුයි ...
    රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි.

    අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් සහ දිරිගැන්වීමයි ...

    මධ්‍යම රජය සහ පළාත් සභාව එක රාජ්‍ය ප්‍රතිපත්තියක වැඩකළ යුතුයි.. ජනපති කියයි.

    රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

    අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි. ඊට පරිසරය සැකසිය යුතුයි. එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

    සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බව ජනාධිපතිතුමා විසින් අවධාරණය කෙරිණ.

    හරිත කෘෂිකර්මාන්තය රජයේ ප්‍රධාන වැඩපිළිවෙළකි. 75%කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත ජීවිකාවක නිරත වෙති. කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙනි. ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැගිය යුතුය. නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියේය.

    දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබඳ සතුට විය හැකි බවත් විධිමත් අයුරින් ගොවීන් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි බව ආණ්ඩුකාරවරු සඳහන් කළහ.

    හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මහ කන්නයෙන් ඉගෙන ගත් පාඩම් අධ්‍යයනය කර යල කන්නය සාර්ථක කරගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. දිස්ත්‍රික් 25ට ආවේණිකව යෙදිය යුතු පොහොර හඳුනාගනිමින් ගොවීන් දැනුවත් කිරීම මේ වන විට අරඹා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබාගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බව පෙන්වා දෙනු ලැබීය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya