මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලඹේ ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනම් කෙරේ- නිවාස 256 කින් යුත් නව මහල් නිවාස සංකීර්ණයක්

    පෙබරවාරි 10, 2022

    නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරෙන නිවාස 5,000 වැඩපිළිවෙළ යටතේ මාලඹේ ඉදිකළ නිවාස 256 කින් යුතු මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට අමතරව කිසිඳු ආදායම් මාර්ගයක් නොමැති නිවාස නොමැති අසරණ පවුල් ඇතුළු නිවාස නොමැති සියළුම පවුල් ඉලක්ක කරගෙන අග්‍රාමාත්‍යවරයාගේඋපදෙස් පරිදි විවිධ වර්ගයේ නිවාස වැඩසටහන් රැසක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ රටපුරා ක්‍රියාත්මක වේ.

    මධ්‍යම පාංතික පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙමින් පවතින්නේ මාලඹේ නව පුබුදු ක්‍රීඩාංගන මාවත ආසන්නයේය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මෙම මහල් නිවාස 5,000 ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මහල් 20 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2021 වසරේ ජනවාරි 07 වන දින ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදිකෙරේ.

    “ක්‍රිසෙන්ඩෝ එපාට්මන්ට්” (Crescendo Apartment) යනුවෙන් හදුන්වන මෙම නිවාස සංකීර්ණය නව රැකියා අවස්ථා ලබාගන්නා වෘත්තිකයන් සහ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියක් වශයෙන් ද හැඳින්වීමට පුළුවණි.

    වඩාත් ජනාකීර්ණ පෙදෙසක ආසන්නයේ ඇති සියලු පහසුකම් සහිතව පෞද්ගලික නිදහස ආරක්ෂා කරගනිමින් සහ පොදු හිතවත්කම වර්ධනය කර ගනිමින් විවේකීව ජීවත්වීමට නිවාස හිමියන්ට සුදුසු පරිසරයක් ඇතිවන අකාරයෙන් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකරමින් පැවතීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයයි.

    මෙම නිවාස 256, නිවාස 128 ක් බැගින් වන ඒකක දෙකකින් සමන්විතයි. එම ඒකක දෙක “A” වර්ගයේ නිවාස සහ “B” වර්ගයේ නිවාස ලෙස වර්ගකර තිබේ. “A” වර්ගයේ නිවසක් වර්ග අඩි 700 කින් ද, “B” වර්ගයේ නිවසක් වර්ග අඩි 900 කින් ද යුක්තයි.

    වර්ග අඩි 700 ක “A” වර්ගයේ නිවසකට නිදන කාමර 02 ක්, විසිත්ත කාමරයක්, නාන කාමර 02 ක් (පොදු සහ සේවක), කෑම කාමරයක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයක් සහ වෙන්කළ ගබඩා ඉඩකඩ සහිත පෙදෙසක් ඇතුළත් වෙයි.

    වර්ග අඩි 900 ක “B” වර්ගයේ නිවසකට නිදන කාමර 03 ක්, විසිත්ත කාමරයක්, නාන කාමර 03 ක් (ප්‍රධාන, පොදු සහ සේවක), කෑම කාමරයක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයක් සහ වෙන්කළ ගබඩා ඉඩකඩ සහිත පෙදෙසක් අයත් වෙයි.

    මෙම මහල් නිවාස මිලදී ගැනීම සඳහා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය පහසුකම් ලබාදෙයි. ඒ මසකට 6.25% ක අවම පොළී අනුපාතයකට යටත්වයි. වසර 25 ක කාලයක් දක්වා මාසික වාරික වශයෙන් එම ණය ගෙවීමේ පහසුව ද එම බැංකු විසින් ලබා දී තීබීම ද විශේෂත්වයකි. නිවාස මිලදී ගනු ලබන පුද්ගලයින්ට වඩාත් සහන සැලසෙන ආකාරයට රජයේ උපදෙස් අනුව රාජ්‍ය බැංකු මඟින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවයි.

    මෙම නිවාස සංකීර්ණයේ බිම් මහල, පළමු මහල, දෙවන මහල සහ තෙවන මහල රථගාල සඳහා වෙන්කර තිබේ. නිවාස සංකීර්ණය සඳහා වෙන්කර ඇති මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් 8293.9 කි. එම ඉඩකඩෙන් වර්ග මීටර් 2812.5 ක භූමි ප්‍රමාණයක් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගෙන තිබේ.

    දැරිය හැකි මිලට මිල දී ගතහැකි නිවාස සංකීර්ණය පොදු පහසුකම් රැසකින් ද සමන්විතයි. ඒ අනුව සපයා ඇති පොදු පහසුකම් මෙසේ දක්වා තිබේ. ඒ යටතට නිවාස සංකීර්ණය සඳහා පොදු රථ ගාලක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක්, කුඩා සුපිරි වෙළද සැලක්, ගිනි නිවීම් ඒකකයක්, නිවාසවලට වෙන් වෙන්ව සවිකළ ජල හා විදුලි මීටර්, සියලුම නිවාස සඳහා සැපයූ පොදු ජල පහසුකම්, ප්‍රධාන ගෑස් සැපයුම් ක්‍රමයක්, අපද්‍රව්‍ය බැහැරලීමේ පහසුකම්, හදිසි විදුලි බිදවැටිම්වලදී විදුලිය සැපයෙන ජෙනරේටර් සහ සෝලා විදුලි ආලෝකය, විදුලි වාහන ආරෝපිත පහසුකම්, පැය 24 සැපයෙන අභ්‍යන්තර ආරක්ෂක සේවාව, වැසි ජලය ක්‍රමවත්ව බැස යාමේ පහසුකම, අධිවේගී විදුලි සෝපාන පහසුකම්, පොදු කාණු පද්ධතිය සහ කාණු පිරිසිදු කිරීමේ පහසුකම් සැපයීම ද ඇතුළත් වෙයි. සියලු නිවාස සඳහා උසස් තත්ත්වයේ, නවීන මාදිලියේ අංග සම්පූර්ණ නාන කාමර කට්ටල යොදා ඇත.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya