මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවේශම් වන්න -සක්‍රීයව ඉක්මණින් ඩෙංගු මර්දනයට දායක වන්න - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    ජනවාරි 01, 2022

    නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් මෙරටින් 4561ක් වාර්තා වුණු අතර මේ මාසයේදී එය දෙගුණ වෙමින් 8740ක් අද වන විට වාර්තා වී ඇතැයිද, එමනිසා ජනතාව ප්‍රවේශම් වෙමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා ඉක්මණින් සහ සක්‍රීයව කටයුතු කළ යුතු බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඩෙංගු අවදානමෙන් මිදෙමු යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    ඩෙංගු වසංගතය පසුගිය දශකයක කාලයේදී සෑම වසර දෙක තුනකටම වරක් දරුණු වසංගතයක් තත්ත්වයට පතුවූ බවද, 2017දී රෝගීන් 180,000කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    2020 වසරේදී කොවිඩ් ව්‍යාප්තියත් සමග ඩෙංගු හිස එසවීමේ අඩුවක් පෙන්නුම් කළ අතර 2021 මෙම වසරේදී මුල් කාලයේදී මඩකලපු දිස්ත්‍රික්කයෙහි ඩෙංගු රෝගීන් වාර්තා වූ බවද, වසරේ මැද එහි අඩුවක් පෙන්වමින් අවසාන මාස කිහිපය තුළ රෝගීන් වාර්තා වීමේ විශාල වැඩිවීමක් නිරීක්ෂණය වුණු බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

    මෙම වසරේ වාර්තා වුණු ඩෙංගු රෝගීන්ගෙන් තුනෙන් දෙකක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වුණු බවද, කොළඹ මහනගරසභා සීමාවෙන් වාර්තා වුණු ප්‍රමාණය 12%ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වුණු ඉතිරි රෝගීන් ප්‍රමාණය රටෙන්ම වාර්තා වුණු රෝගීන්ගෙන් 20%ක ප්‍රමාණයක් බවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 24%ක් සහ කලුතරින් 10% ක් වාර්තා වුණු බවද ඔහු කියා සිටියේය.

    අප රටෙහි ඩෙංගු හේතුවෙන් සිදුවන මරණ ඉතාම අඩු බවද, මෙම වසරේ මරණ 26ක් සිදුවී ඇති බවද සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැය 24කට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවද, තවදුරටත් උණ ඩෙංගු පරීක්ෂාවන්ට සහ රැධිර පරීක්ෂාවන්ට ලක්වීම වැදගත් බවද පැවසුවේය.

    උණ සෑදීමට අමතරව අධික ඇගපත වේදනාවද ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණයන් බවද ඩෙංගු වැළදුණු පුද්ගලයන් විවේක ගැනීමත් අධික ලෙස දියර ජාති පානය කරමින් විජලනය වීමකට ලක්නොවී ආරක්ෂා වීම වැදගත් බවද කොවිඩ් අවදානමක් පවතී යැයි ප්‍රතිකාර සදහා රෝහල්ගත වීමට අනිසි බියක් උපදවා නොගන්නා ලෙසද සදහන් කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටියේ දූමායනයෙන් සිදුවන්නේ වෛරසය සහිත මදුරුවන් විනාශ කිරීම බවත් එමගින් කීටයන් විනාශ වීමක් සිදුනොවන බවයි.

    මෙරට ජනතාව සතියකට වරක්වත් තමා වෙසෙන පරිසරයේ අවට වටපිටාව පරීක්ෂා කිරීමට පැය කිහිපයක් යෙදවිය යුතු බව සිහිපත් කළ වෛද්‍යවරිය දරුවන් පාසල් එවීමේදී මදුරු විකර්ශක ආලේපන ඇග ගල්වා එවීමේ වැදගත්කම පිළිබදවද අවධාරණය කළේය.

    එළඹෙන වසරේ ජනවාරි 04 සිට 10 දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 81ක ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සිහිපත් කළ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ සදහා ජනතාවගේ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බවද සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya