අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික වගාවට විධිමත් වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 25, 2021

    කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.

    දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය, තත්ත්ව පාලන හා සැපයුම් ජාල කළමනාකරණ අනු කමිටුව  (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රැස් වූහ. එම අනුකම්ටුවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් උසුලයි.

    මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය හා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති මහින්ද අමරවීර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු මෙන්ම එම අනු කමිටුවේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

    කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යාම සම්බන්ධව හා ඉදිරි වගා කටයුතු වල දී කාබනික වගාවට ගොවි ජනතාව යොමු කරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළේය. වගාවේ දී මූළික පොහොරක් සේ නොසළකන කොම්පෝස්ට් පොහොර හා ජෛව දියර පොහොර කාබනික පොහොර ලෙස වරදවා අවබෝධ කර ගැනීමේ ප්‍රතිපලයක් වශයෙන් කාබනික වගාව සඳහා ගොවීන් පොළඹවා ගැනීම අසාර්ථක වීමට හේතු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    එමෙන්ම කාබනික වගාවේ දී අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට සැපයීම මෙන්ම වී වගාවේ වල් මර්දනය හා කෘමි පාලනය සඳහා මෙතෙක් යොදා ගත හැකි විකල්පයක් හඳුන්වා දී නොමැතිවීමත් බරපතල ගැටළුවකි. ගොවීන් වී වගා කළ ද ඒවාට බලපාන වල් මර්දනයට හා කෘමි මර්දනයට මෙතෙක් වැඩ පිළීවෙළක් හඳුන්වා නොදීම නිසා ද ගොවි ජනතාව කාබනික වගාව කෙරෙහි ආකර්ශණය නොවීමට හේතුවක් බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම කාබනික වගාව එක්වර මුළු රටේම ක්‍රියාත්මක නොකර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා නම් කාබනික වගා ප්‍රවේශය වඩාත් සාර්ථක වන ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.කෙසේ වුවද කාබනික වගාව සඳහා රජය ගත් පියවර සෞඛ්‍යමය හා පාරිසරික වශයෙන් හොඳ තීරණයක් වුවද, කාබනික වගාව කෙරෙහි ගොවි ජනතාව තුළ වර්තමානයේ උද්ගතව ඇති කළකිරීම නිසා එම වගාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ කමිටුවේ විශේෂඥයින් පෙන්වා දුන්නේ කාබනික වගාව සාර්ථක වීමට නම් ඝන පොහොර හා කාබනික පොහොර මෙන්ම ජෛව දියර පොහොර යන වර්ග තුනම නිවැරදිව භාවිතා කළ යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් එක් රැස් කර තිබෙන කුණු කසළ ද පොහොර ලෙස සළකා තිබේ. කොම්පෝස්ට් පොහොර යනු මූළික පොහොරක් නොවේ. කාබනික වගාවේ දී මෙම වරදවා වටහා ගැනීම බරපතල අත්වැරැද්දක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

    එමෙන්ම ජෛව දියර පොහොර ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දැනට ප්‍රමාණවත් තරම් රසායනාගාර පහසුකම් නොමැති නිසා එම පහසුකම් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය විය.
    කෙසේ වුවද පුළුල් දැනුම්වත් කිරීම් හා කාබනික වගාවට ගොවීන් නැවත පොළඹවා ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් ඇරඹීමට අනු කමිටුව   තීරණය කරනු ලැබීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya