මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන්න - අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 16, 2021

    අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින උපදෙස් දුන්නේය.

    අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහිදී කරුණු විමසා සිටියේය.


    පවතින වසංගත තත්ත්වය හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙක් දැනටමත් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී අනාවරණය විය.
    හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැළසීම සඳහා රජය දිස්ත්‍රික් 21 ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී තිබේ. මූලික වන්දි ලබාදීම ද ප්‍රමාදයකින් තොරව අවසන් කර ඇත.


    දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව අවදානම් කලාපවල දැනට ජීවත්වන පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

    අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැළසුම් කරන ලෙසද අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.
    නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහි දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය. ඊට විසඳුමක් ලෙස අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.
    අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටීම, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා අකුණු අනතුරු වලින් මේ දක්වා දිස්ත්‍රික් 21 ක පුද්ගලයින් 26 දෙනෙක් මියගොස් 262,831 ක් ආපදාවට ලක්ව තිබේ.

     

    බදුල්ල , මහනුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පවතින නායයෑම් හා ජල ගැලීම් නිරන්තරයෙන් සිදුවන බැවින් ඒ තුළින් සිදුවන අවදානම් අවම කිරීමට නිෂ්චිත පිළියම් යෙදීමටද මෙහිදී අවධානයට යොමු විය.


    දේශගුණ විපර්යාස බලපෑමට ලක්ව සිදුවන ආපදා තත්ත්වයන් දිගු කාලයක සිට හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන නිෂ්චිත පිළියම් යෙදීම සුදුසු බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමීම සම්බන්දයෙන් ද මෙහිදී අවධානය යොමු විය. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස එම ස්ථානයේ එක් මංතීරුවක් වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් දැනට හඳුනාගෙන තිබෙන විකල්ප මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමා මෙහි දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.


    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා දේවි වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, එස්.එම්.චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, සරත් වීරසේකර සහ රාජ්‍ය අමාත්‍යවරුන්වන ඉන්දික අනුරුද්ධ, කනක හේරත්, සනත් නිශාන්ත, ජීවන් තොණ්ඩමන්, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සුදර්ශන දෙනිපිටිය, වසන්ත යාපා බණ්ඩාර, රාජිකා වික්‍රමසිංහ, ආචාර්ය සුරේන් රාඝවන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya