මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා..!

    ඔක්තෝබර් 28, 2021

     ශෝක පණිවිඩය

    පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්විමි.

    තම දිවිය වසර 85 ක් වැනි කලක දී අවසන් කරන අපේ නායක හාමුදුරුවෝ, ඉන් වසර 67 ක් ම වෙන්කළේ සම්බුදු සසුනේ සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ යෙදීම සඳහාමය.

    සාහිත්‍ය චක්‍රවර්ති ගෞරවාර්හ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම , ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර වැනි සම්බුදු සසුන එළිය කළ නායක ස්වාමීන්වහන්සේලාගේ ඇසුර හා මාර්ගෝපදේශකත්වය නිරන්තරයෙන් ලැබීමට අපේ නායක හාමුදුරුවෝ වාසනාවන්ත වූහ.

    විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් නායක ස්වාමීන් වහන්සේ, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍රීයව ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළහ.

    විටින් විට රටේ ඇතිවන විවිධ ගැටලු වලදී සුවිශාල නායකත්වයක් ගෙන කටයුතු කළ නායක ස්වාමීන්වහන්සේ ඉටුකළ ‍සේවාව වචනයෙන් විස්තර කළ නොහැකිය.

    විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව පෞද්ගලික ජීවිතයේදී ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළේ දැඩි මිත්‍රත්වයකිනි.

    මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවන්හී දි අත්නොහැර කටයුතු කළ නායක ස්වාමින් වහන්සේ, මාහට මහත් ශක්තියක් වු අතර, එහිදී ලබාදුන් අවවාද අනුශාසනා හා ආදර්ශ බොහෝය. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි කළ්‍යාණ මිත්‍ර ථෙරනමකි.

    හමුවූවිට නිතර මා සමඟ සාකච්ඡා කළේ රට දැය මෙන්ම සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට ය.

    විද්‍යාලංකාර සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මහත්සේ ඇලුම්කළ නායක ස්වාමීන් වහන්සේ උගත් සිල්වත් භික්ෂු පරපුරක් සසුනට දායද කිරිමට වෙහෙස වී ක්‍රියා කළහ.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම්පාසල් දූ දරුවන් දැයට හිතැති ගුණවත්, නැණවත් දරු පිරිසක් බවට පත්කිරීම උන්වහන්සේගේ පරම අභිලාෂය වූහ.

     

    මල්වතු මහා විහාරය මඟින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය හා උපාධ්‍යාය ධූරය උන්වහන්සේට පිරිනැමුවේ නායක ස්වාමීන් වහන්සේ ඉටුකරන උදාර ජාතික හා ශාසනික සේවාව නිසාමය.

     

    විදේශ රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය සඳහා කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේ, විදේශීය භික්ෂූන් වහන්සේලාට මෙන්ම එම ජනතාවට ඉටුකරන මෙහෙය නිසාම බුරුම රජය මඟින් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ යන ගෞරව නාම සම්මුතිය උන්වහන්සේට පිරිනැමූහ.

    ‘වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ’
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය
    අප්‍රමාදව ගුණදම් වඩන්න

    මෙම ලොව්තුරු බුදුවදන මැනවින් වටහාගත් නායක ස්වාමීන් වහන්සේ සැමවිටම ගුණදම් වැඩු අතර, සෑම මසකම ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කිරීමට අමතක කළේ නැත.

    ත්‍රෛනිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ සමඟ නිරන්තර ලෙන්ගතු කමින් කටයුතු කළ අතර, සැමවිටම සිනා මුසුව සිටි ආදර්ශ සම්පන්න ගුණගරුක මහ ථෙරනමකි.

    නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝය. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිඩැස පිරිමැසිය නොහැකිය.

    පුරා වසර 85 ක් ආයු වළදා අපවත් වී වදාළ ගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරමි. එසේම උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විද්‍යාලංකාර පිරිවෙන් දායක සභාවටත්, සියලු ඥාතීන් ඇතුලු සැමටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි.

     


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya